ලුණු සඳහා පාලන මිලක් නියමකර නොමැති බව පාරිභෝගික අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර පැවැත්වුන හමුවක දී ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට වන මාධ්‍ය වාර්තා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය තරයේ ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය (29) ප්‍රකාශ කළේ ය.
එවැනි සාකච්ඡාවක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර සිදු නොවු බව ද එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.
උපරිම සිල්ලර මිලක් පැනවීමේ දී අදහස් ලබා ගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන පාරිභෝගික කටයුතු පිළිබද සභාව විසින් ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය කැඳවා සාකච්ඡා කර ඇති බවද අධිකාරිය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
එම සාකච්ඡාවේ දී මතු වූ කරුණුද සැලකිල්ලට ගනිමින් නියම කල යුතු උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු පිළිබද සභාව මගින් තීරනය කරනු ලැබුවහොත් එම මිල ගනන් අධිකාරිය වෙත දැනුම් දීමට සභාව විසින් කටයුතු කරනු ඇති බවද එම නිවේදනයේ සදහන් වේ.
ඒ අනුව එම මිල ගණන් ගැසට්පත්‍රයක් මගින් ප්‍රකාශ කිරීමට අධිකාරිය කටයුතු කරන අතර මාධ්‍ය වෙත ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය ඉදිරිපත්කර ඇති මිල ගණන් හා ඒ සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සමග එකග වූ බවට වන ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව ද එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම ආනයනකරුගේ හෝ දේශීය නිෂ්පාදකයාගේ තොරතුරු මෙන්ම සිල්ලර මිලක් සදහන් නොවන ලුණු අසුරන වෙළද පොලට නිකුත්කිරීමට ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් කටයුතු කර ඇති බවත් එවැනි නිෂ්පාදන සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නීතිමය පියවර ගන්නා බවත්, එම නිසා එවැනි නිෂ්පාදන මිලදීගැනීම හා අලෙවිකිරීම සිදු නොකරන ලෙසත් සියලුම වෙළෙද මහතුන් දැනුවත් කරනු ලබන බව ද එහි දැක්වේ.
තමන්ට භාණ්ඩ සැපයු ආනයනකරුගේ හෝ නිෂ්පාදකයාගේ නිවැරදි තොරතුරු සහ මිල ගණන් සහිත විධිමත් බිල්පතක් තමන් සතුව තබා ගන්නා ලෙස ද සියළුම ව්‍යාපාරිකයන් දැනුවත් කරන අතර එවැනි බිල්පතක් නොමැතිව භාණ්ඩ ලඟ තබා ගන්නේනම් ඒ සම්බන්ධව ද නීතිමය පියවර ගනු ලබන බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.