ශ්‍රි ලංකා රේගුව හරහා සිවිලින් ශීට් ආනයනයේ දී සිදු කර ඇති මහා පරිමාන රේගු බදු වංචාවක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිවිල් පුරවැසියෙක් විසින්  ලිඛිතව පැමිණිලි කර තිබේ. ඒ පසුගිය (2025.06.05) දින දීය.

එම ආනයන කරුවන් විසින් වැරදි තොරතුරු සපයා රේගුව මගින් ලබා ගන්නා ලද වැරදි වර්ගීකරණ අංකයක් යටතේ වසර ගණනාවක් සිවිලින් ශීට් රේගුවෙන් නිෂ්කාශනය කර ගෙන යෑමෙන් ආණ්ඩුවට කරන ලද රුපියල් කෝටි 27 ක පමණ මහා පරිමාන බදු වංචාවක් සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන ලෙස එම සිවිල් පුරවැසියා ජනාධිපතිවරයාට යොමු කරන ලද  ලිපියෙහි සඳහන් කර තිබේ.

අංගොඩ, හීනටිකුඹුර, ගාමිණි රාජකරුණා නැමැත්තා මෙසේ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පවසා තිබේ.

මෙම අයථා ගනුදෙනුව සිදු ව ඇත්තේ 2014, 2015, 2016 වර්ෂවල  බව ද එම ලිපියේ තොරතුරුවල තවදුරටත් සටහන් කර ඇත.

එම ලිපියේ සඳහන් ආකාරයට මෙම සිද්ධිය නිසා ශ්‍රි ලංකා රේගුවට සිදු ව ඇති පාඩුව රුපියල් කෝටි 27 ක් පමණ බවත්, අදාළ ආනයන කරුවන් වර්ෂ 9 යක දී  බිලියන 06 ක් පමණ ලාභ ලබා ඇති බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.

වසර ගණනාවක් ගත වුව ද මේ සම්බන්ධයෙන් කිසි විමර්ශණයක් සිදු කර නොමැති බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.

මෙම මහා පරිමාන ගනු දෙනුව යට ගැසීම සම්බන්ධයෙන් සමහර රේගු නිලධාරින් ද සිටින බවත්, විමර්ශන ලිපි ගොනු 18 ක් නිසි විමර්ශනයකින් තොරව වසා දමා තිබේ.

මෙම රේගු බදු වංචාව සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී මුදල් අමාත්‍යංශය දැනුවත් කර ඇතත් ඒ සඳහා නිසි අවදානයක් යොවු කර නොමැති බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.

මුදල් අමාත්‍යංශයේ සමහර නිලධාරින් රේගුවේ ඉහළ දුෂිත කිලධාරින් ආරක්ෂා කරන ප්‍රවනතාවයක් ද දැකිය හැකි බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වසර 9 ක් සිදු කර ඇතැ යි කියන සමහර විමර්ශණ සම්බන්ධව කිසිදු විශ්වාසයක් නොමැති බව ද එම ලිපියේ අදාළ පුද්ගලයා ලිඛිතව සටහන් කර තිබේ.

අදාළ සිද්ධියට සම්බන්ධව ලිපි ගොනු  පී.ආර්.ඊ.වී/000340/2016 අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට ලබා දී ඇති බව ද එම ලිපියේ  සඳහන් කර තිබේ.

රේගුවේ සමහර වර්ගීකරණ විශේෂඥයන් හරහා මෙම අයථා බදු ගනු  දෙනු හරහා වංචාවක් සිදු ව ඇති බවත් ලෝක රේගු සංවිධානයේ අන්තර් ජාතික වර්ගීකරණ නීති පවා අව භාවිතා කර ඇති බවත්  එම ලිපියේ සඳහන් කර ඇත.

පියවි ඇසින් පමණක් වු ව ද හඳුනා ගත හැකි පසු බිමක වර්ගීකරණ විශේෂඥයින්ට මෙම සිවිලින් ශීට් හදුනා ගැනීමට නො හැකි වීම පිටු පස යම් දේශපාලන සම්බන්ධයක් තිබේ ද යන්න විමර්ශනයක් කළ යුතු බව ද එහි සඳහන් කර තිබේ.

ඒ නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර අදාළ පුද්ගලයන්ගේ තරාතිරම නොසලකා ජනතාවට අහිමි කරන ලද රේගු බදු මුදල් ලබා ගන්නට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාට ලබා දුන් ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න