රජයේ රෝහල් රසායනාගාර වලට මිල දී ගැනීමේ දී සුදු කර පටි ජාවාරම මාලිමා  ආණ්ඩුව යටතේ තවත් ශක්තිමත් වී පැටව් ගසා ඇතැ යි, සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

රජයේ රෝහල් සඳහා රසායනාගාර අවයංක්‍රීය යන්ත්‍ර මිලදී ගැනීම සම්බන්ධව සිදුවන දූෂණාත්මක සහ වංචනික ක්‍රියා පිළිවෙත පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ දූෂණය හෝ අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි විමර්ශන කොමිසමට (CIABOC) බොහෝ වාරවල පැමිණිලි ලබා දී ඇති ද ඒ මහතා  කළේ ය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් තොරතුරු ද සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති බව ද ඔහු කිීය.

ඒ අනූව දැනට දූෂිත වළල්ලක් විසින් කෘතිමව නිර්මාණය කරගෙන ඇති රසායනාගාර ප්‍රතික්‍රීයක මිලදී ගැනීමේ ඒකාධිකාරය අහෝසි කර ගනිමින් තරගකාරී මිලට ප්‍රතික්‍රීයක මිලදී ගැනීම සිදු කලහොත් රසායනාගාර ප්‍රතික්‍රීයක වලට වැය කරනු ලබන මුදලින් තුනෙන් දෙකක් පමණ ඉතිරි කර ගත හැකි බව ඒ මහතා පැවසීය.

රෝහල් මට්ටමින් ප්‍රතික්‍රීයක මිල දී ගැනීමේ දී තරඟකාරී මිලට පමණක් මිලදී ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු රෝහලූ අධ්‍යක්ෂකවරුන් වෙත නියෝගයක් නිකුත් කර ඇති බවද ඔහු කීය.

නමුත් එහි සඳහන් නිර්දේශ කිසිවක් මෙතෙක් කිසිදු අධ්‍යක්ධකවරයෙකු ක්‍රියාත්මක කර නැති බවත් එම නියෝගයට පටහැනිව ක්‍රියා කරන අධ්‍යක්ෂක වරුන්ට එරෙහිව අධ්‍යක්ෂ ජනරාල්වරයාද කිසිදු ක්‍රියාමාර්ගයක් නො ගැනීම හරහා එම ලිපිය නමට පමණක් යැවූවක් බව ඉතා පැහැදිළි බව ද ඔහු කීය.

දූෂණ කොමිසමට පැමිණිලි සැලැස්විය නො හැකි වන්නේ ඔවුන්ට තාක්ෂණික දැනුම අඩු වීම නිසා බව ද ඔහු සඳහන් කළේය.

මෙම වංචනික ක්‍රියාව නිර්මාණයකර ඇත්තේ ආයතන අධ්‍යක්ෂකවරුන්ගේ හා රසායනාගාර විශේෂඥයින්ගේ පූර්ණ දායකත්වයෙන් වන බැවින් ඊට අදාළ තාක්ෂණික කරුණු අභියෝගයට ලක් කල නොහැකි විමර්ෂණයක් හරහා මෙම තත්ත්වය හෙළිදරව් කර ගත නො හැකි බව ද ඒ මහතා පැවසීය.

මෙම ගැටලුව පවතින්නේ මින් පෙර නිකුත් කළ චක්‍රලේඛ වලට අනුව බවද ඔහු ප්‍රකාශ කළේය.

රෝහල් සඳහා ස්වයංක්‍රීය යන්ත්‍ර මිලදී ගැනීමේ  දී විශේෂඥ වෛද්‍යවරු සහ රෝහලේ අධ්‍යක්ෂවරු සේවා ගිවිසුම් වලට අත්සන් කරන අතර එම ගිවිසුම්වලට අනුව එම යන්ත්‍ර සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියක (reagents) එම යන්ත්‍රය නිෂ්පාදනය කළ සමාගමෙන්ම මිලදී ගත යුතු බවද ඔහු පැවසීය.

මෙම ගිවිසුම් කොන්දේසි වෙනස් කළ නොහැකි බැවින් සෞඛ්‍ය සේවාවට තරඟකාරී මිලට ප්‍රතික්‍රියක ලබා ගැනීමක් කළ නොහැකි බව ද ඔහු කීය.

විශේෂයෙන් ම විශේෂඥ වෛද්‍යවරු විසින් ගුණාත්මකභාව සම්බන්ධයෙන් සදහන් කරන මාර්ගෝපදේශ සමාජය වෙත ඉදිරිපත් වුව ද එය කිසිවෙකුට තරඟ කිරීමට නො හැකි ආකාරයකින් බවද ඔහු කීය.

වෛද්‍ය උපකරණ සඳහා වූ ගුණාත්මකතා පරීක්ෂණ රෝහල් මට්ටමින් සිදු වන අතර ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුද සම්බන්ධතාවයක් පවතින බවද හෙතෙම චොචනා කළේය.

එවන් විශේෂඥයන්ගේ නිර්දේශය අනුව පමණක් රෝහල් මෙම උපකරණ පිළිගන්නා බව ද හෙතෙම කීය.

නව රජය බලයට පත් වීමෙන් පසු මෙවැනි සුදු කර පටි හොරකම් වැළකෙනු ඇතැයි උපකල්පනය කල ද සෞඛ්‍ය සේවාවේ මෙවැනි අභ්‍යන්තර තාක්ෂණික කාරණා පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය ඇමතිවරයාට සහ ලේකම් වරයාට කාලය නොමැති වීම හේතුවෙන් මේ වන විට තත්ත්වය වඩාත් දරුණු වී බරපතල තත්ත්වයකට පත්ව ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න