යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් පවත්වාගෙන ගිය අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිවාසයක් වටලා එහි සිටි බුද්ධි අංශ සාමාජිකයින් සහ අවි ආයුධ අත්අඩංගුවට ගැනීම තුළින් වරදක් සිදු කළැයි කියන නඩුවෙන් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (27) නියෝග කළේය.
වසර 20 ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ විභාග කෙරුණු එම නඩුව පැමිණිල්ලේ හා විත්තියේ සාක්ෂි අවසන් වීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙලෙස තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර ඇති චෝදනා 18 න් චෝදනා 4 කට විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් ඉතිරි චෝදනා 14 ට නිදහස් කරන බවත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සදහන් කළේය.
2002 වසරේ ජනවාරි මස 02 වන දා අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවාසයක් වටලා එහි සිටි බුද්ධි අංශ සාමාජිකයින් සහ අවි ආයුධ අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම, ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීම සහ රටේ ස්වෛරීභාවයට හානි සිදුකිරීම යනා දී චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.