අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 11ක් නාවික හමුදාව සිදුකල එකාබද්ධ මෙහෙයුමකින් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කලාපීය මෙහෙයුම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය හා එක්ව සිදුකල විශේෂ එකාබද්ධ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹූරු මුහුදේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා ගරු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සමඟ නාවික හමුදාධිපති සහ වැඩබලන පොලිස්පති සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය තුමා, මත්ද්‍රව්‍යයෙන් තොර රටක් බිහි කිරීමේ රජයේ සංකල්පයට අනුව, රට තුලට මත්ද්‍රව්‍ය රැගෙන ඒම මැඩපැවැත්වීම සඳහා සියළුම මාර්ග අවහිර වන පරිදි ත්‍රිවිද හමුදාව, පොලීසිය, දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරනු ලබන සියළු පාර්ශවයන් හා එක්ව, සැලැස්මක් සහිතව මත් ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධවන ඕනෑම පාර්ශවයක් වෙත දැඩි නීතිමය පියවර ගන්නා බවත් අවධාරණය කෙරිණි.
තවද, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයෙහි නිශ්චිත බර මේ වනවිට ගණනය කරමින් පවතින අතර, එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.