• පාර්ලිමේන්තු සංසද දෙකක් දසවැනි පාර්ලිමේන්තුව සඳහා නැවත ස්ථාපනය කිරීම සම්බන්ධයෙන්ද ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවේ නිවේදනය කරයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නව මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ නම් සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නව මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගේ නම් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි.

මේ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු (මහාචාර්ය) අනිල් ජයන්ත, ගරු ගමගෙදර දිසානායක, ගරු ගයාන් ජනක යන මහත්වරුන් නම් කරන ලද බව ගරු කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

තවද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධාන සහ 2024 දෙසැම්බර් 06 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු චතුරංග අබේසිංහ, ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, ගරු අර්කම් ඉල්යාස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නම් කරන ලද බවද ගරු කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි.

එසේම ශ්‍රී ලංකා දේශගුණ පාර්ලිමේන්තු සංසදය සහ විවෘත පාර්ලිමේන්තු මූලා‍රම්භයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය යන පාර්ලිමේන්තු සංසද දෙක දසවැනි පාර්ලිමේන්තුව සඳහා නැවත ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට 2024 දෙසැම්බර් 31 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව ද ගරු කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න