(01) කෙර්ල ගංජා අල්ලයි!

යාපනය යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වැල්වැටිතුරය පොලිසිය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී, වැල්වැටිතුරය තික්කම් වෙරළ තීරයේ දී නීති විරෝධී ලෙස මෙරටට ප්‍රවාහනය කල කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගංජා පාර්සල් 33 ක ඔතා තිබු අතර, එහි වටිනාකම රුපියල් මිලියන 13.5 ක් පමණ වන බව වාර්තාවේ. 27 දින අළුයම් කාලයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පොලිසිය සමග හමුදා බුද්ධි අංශ එම ස්ථානයට පැමිණෙන විට සැකකරුවන් කිසිවෙකුත් නොසිටි බව පොලිසිය සදහන් කරයි.

මෙම ගංජා තොගය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට වැල්ලවැටි තුරේයි පොලිසිය කටයුතු කරමින් සිටී.

කන්කසන්තුරේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.එම්.ආර්.අඹේපිටිය මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි 2 ජයතිලක මහතාගේ මෙහයවීමෙන්, වැල්ලවැටිතුරේයි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද පත්මසිරි මහතා ඇතුලු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


(02) ඉංගිරිය රෝහල අසක අනතුරක් 15 රෝහල් ගත කරති!

හොරණ – රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්රික් රෝහල අසලදී, පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් (27) උදෑසන සිදුවූ අනතුරකින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. තුවාල ලැබූවන් අතර ලොරියේ රියදුරු සහ සහායකයාද වෙයි.

තුවාල ලැබූවන් ඉංගිරිය දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව, බරපතළ තත්ත්වයේ සිටි ලොරි රියදුරු, සහායක ඇතුළු පාසල් සිසුන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

පෞද්ගලික බස් රථය හොරණ දෙසට පැමිණෙමින් සිටියදී හා කුඩා ලොරිය ඉංගිරිය දෙසට ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර වී තිබුණි.


(03) පොලිස් වාහනය පාරේ නොයයි! නානු ඔයේ යැයි!

ගිනිගත්හේනේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන, නුවරඑලියේ සිට කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා නානුඔය ඔයට පෙරලීමෙන්, එම ජිප් රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත (27) දින ඇතුලත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ උදෑසන 6.00 ට පමණ හැටන් නුවරඑලිය ප්‍රධාන මාරගයේ නානුඔය බ්ලැක්ෆූල් මංසන්ධිය ආසන්නයේ දීය.

ධාවනය වෙමින් තිබූ ජීප් රථයේ රියදුරාට නින්ද යෑමෙන් මාර්ගයෙන් ඉවතට පැන ඇති ජීප් රථය, ප්‍රධාන මාර්ගය අභියස පිහිටි කොන්ක්‍රීට් සැතපුම් කණු කිහිපයක් කඩාගෙන, අඩි 20ක් පමණ ප්‍රපාතයෙන් වූ නානුඔය ඔයට පෙරලී මෙම අනතුර සිදු වී ඇති බවත්, ජීප් රථය අනතුරට පත්වන අවස්ථාවේ ජීප් රථය තුළ තිදෙනෙකු ගමන් කර ඇති බවයි අනතුර පිළිබද පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියා සිටියේ.

අනතුරින් ජීප් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.


(04) තණමල්විල කොල්ලෙක් අයිස් සමඟ පොලිසියට කොටු!

පොලිස් උපාය දූතයා නිවසටම ගෙන්වා අයිස් මත් ද්‍රව්‍ය අලෙවි කිරිමට ගිය තණමල්විල මහවැව පදිංචි 24 හැවිරිදි තරුණයෙකු, අයිස් මත් ද්‍රව්‍ය සමග තණමල්විල පොලිසිය විසින් පෙරේදා (26) සවස අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල, සූරිආර, මහවැව පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.

සැකකරු පිළිබදව තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී.බණ්ඩාර මහතාට ලද පුද්ගලික තොරතුරකට අනුව, සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් මෙහෙයුම ආරම්භ කර තිබේ. ඒ අනුව තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂක වරයා විසින් සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් උපාය දූතයෙකු යොදවා ඇත.

පොලිස් උපාය දුතයා සැකකරු ඉතා සුක්ෂමව සම්බන්ධ කර ගනිමින් අයිස් මත් ද්‍රව්‍ය මිළදි ගැනිමට පසුබිම සකස් කරගෙන ඇති අතර, පසුව සැකකරු විසින් පොලිස් උපාය දූතයා සිය නිවසටම ගෙන්වා අයිස් මත් ද්‍රව්‍ය අලෙවි කිරිමට කටයුතු කල අවස්ථාවේ, තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ඇතුළු නිළධාරීන් කණ්ඩායම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරු කාලාන්තරයක සිට ඉතාමත් රහසිගතව විශ්වාස වන්ත පුද්ගලයන් හරහා පමණක් මෙම ජාවාරම කරගෙන ගොස් ඇත. වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරු සනතකයේ තිබී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 420ක් සමග ජාවාරමෙන් උපයාගත් රුපියල් 12500ක්, ජාවාරම සදහා යොදාගත් ස්මාට් දුරකතනය හා කුඩා කිරුම් යන්ත්‍රයක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වැල්ලවාය මහේසත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මොණරාගල දිස්ත්‍රික්කය බාර නියොජ්‍ය පොලිස්පති ප්‍රදීප් කලුපහන, මොනරාගල කොට්ටාශබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ගුණවර්ධන, තණමල්විල සහකාර පොලිස් අධිකාරී එච්.ඩබ්ලිව්.උදය කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර, පොලිස් පරීක්ෂක චින්තක වික්‍රමරත්න, පොලිස් කොස්තාපල් වරුන් වන පුෂ්පතුමාර හා කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


(05) මහියංගනයේ බාලිකාවන් දෙදෙනෙක් ආගිය අතක් නෑ

මහියංගණය ප්‍රදේශයේ පාසල් ශීෂ්‍යාවන් දෙදෙනෙකු (26) දින පස්වරු සිට නිවෙස් වලින් අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි පොලිසිය පවසයි.

වයස අවුරුදු 16 ක් වන මෙම පාසැල් සිසුවියන් දෙදෙනා මහියංගණය සේරාන, අරාවත්ත ප්‍රදේශයේ සහ දම්බරාව මහියංගණය යන ලිපිනයන්හි පදිංචි අයවලුන් වන බවද පොලිසිය කීය.

මෙම ශිෂ්‍යාවන් දෙදෙනා මෙවර පැවැත්වෙන ආපාස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින අතර, සුපුරුදු පරිදි (26) දිනද විභාගයට පෙනි සිටිම සදහා මහියංගණය දම්බරාව විද්‍යාලය වෙත යාමට පාසල් නිළ ඇදුමෙන් නිවසින් පිටව ගොස් ඇතැයිද පොලිසිය පැවසීය.

එලෙස ගිය ඔවුන් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ගේ දෙමව්පියන් විසින් මහියංගණය පොලිසිය වෙත පැමිණ රාත්‍රි පැමිණිල්ලක් ඉදිරිපත් කල බවද පොලිසිය සදහන් කළේය.

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගණය පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රපොප චන්දන වීරසිංහ මහතා යටතේ මෙම සිසුවියන් සොයා වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය පැවසීය.


(06) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව බලි නැතිව අලි බලන්න යයි!

අලි-මිනිස් ගැටුම සහ අලි මරණ අවම කරමින් ශ්‍රී ලංකාවේ අලි සංරක්ෂණ ක්‍රියාවලිය සඳහා නව රජය විසින් විවිධ කාලීන ක්‍රියාමාර්ග රැසක් මේ වන විටත් ගෙන ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසීය.

අතර 2025 අයවැය ඔස්සේ ද මේ සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බවද ඒ මහතා කීය.

ඒ අනුව මහජන සහභාගීත්වය තුළින් අලි සංරක්ෂණ ක්‍රියාවලිය සිදු කිරීම මෙන්ම, මිනිස් මරණ බහුල වශයෙන් සිදු වී ඇති ග්‍රාම නිළධාරී කොට්ඨාස මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු ආරම්භ කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

2025 වසරේ දී ගම්මාන 23ක් හඳුනාගෙන වැඩසටහන් 43ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ද ඒ මහතා පැවසීය.

ගම්මාන මට්ටමින් විදුලි වැට ඉදිකිරීම් සහ මුරපොල ස්ථාපිත කිරීම මගින් සිවිල් ආරක්ෂක භටයන්ගේ දායකත්වයෙන් ගම්මාන වලට අලි පැමිණීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග ද කඩිනම් පියවර ලෙස හඳුනා ගෙන තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

සාපරාධී ලෙස අලි ඝාතන සිදු කිරීම වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව දැඩි දඩුවම් ලබා දෙන වරදක් වන බැවින්, විශේෂයෙන් වෙඩි තබා හෝ හක්කපටස් යොදා ගනිමින් සිදු කරන අලි ඝාතන සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන දඩුවම් පැමිණවීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.


(07) බංකු දෙකකට මහ බැංකුව දඩ ගහයි!

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2024 වර්ෂයේ නොවැම්බර් සහ දෙසැම්බර් කාලයේදී, මූල්‍ය ගනුදෙනු කරන ආයතන 02ක් වෙත පරිපාලනමය දණ්ඩන පැනවීමෙන් රුපියල් මිලියන 03ක දඩ ආදායමක් උපයාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය 27 වෙනිදා නිකුත් කළ වාර්තාවක සඳහන්.

2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, එම පනතේ විධිවිධානවලට අනුකූළව කටයුතු කිරීමට අපොහොසත් ආයතන වෙත දණ්ඩන පනවා අදාළ දඩ මුදල් අයකර ගත් බව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සඳහන් කරයි.

ඒ අනුව, 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ ඒ යටතේ නිකුත් කරන ලද රීතීන්, රෙගුලාසි සහ නියෝගයන්ට අනුකූල නොවීම හේතුවෙන් මූල්‍ය ආයතනයකට රුපියල් මිලියන 2 දෙකක දණ්ඩනයක් දෙසැම්බර් 18 වෙනිදා පනවා ඇත. එකී දඩ මුදල අදාළ ආයතනය විසින් 2024 දෙසැම්බර් 31 වෙනිදා, ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවා ඇත.

එමෙන්ම, 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ ඒ යටතේ නිකුත් කරන ලද රීතීන්, රෙගුලාසි සහ නියෝගයන්ට අනුකූළ නොවීම හේතුවෙන්, මුදල් ගනුදෙනු කරන තවත් ආයතනයකට රුපියල් මිලියන 01ක දඩයක් දෙසැම්බර් 18 වෙනිදා පනවා ඇත. එකී දඩ මුදල අදාළ ආයතනය විසින් දෙසැම්බර් 30 වෙනිදා ගෙවා ඇත.


(08) හම්බන්තොට හුංගම ජේලර් වරයා නවසක බි්ති ලෑල්ලක ගැටී මිය යයි!

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ ගලිගමුව පුස්තකාලය ආසන්නයේ දී යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන නිවසක බිත්ති කැබැල්ලක ගැටී, බන්ධනාගාර ජේලර්වරයෙකු 26 වැනිදා රාත්‍රි මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ වරකාපොළ අඹේපුස්ස පුනරුත්ථාපන කදවුරේ බන්ධනාගාර ජේලර්වරයෙකු ලෙස සේවය කරමින් සිටි හම්බන්තොට, හුංගම, බට අත ලිපිනයේ පදිංචිව සිටි 43 හැවිරිදි දංදෙනිය ආරච්චිගේ ප්‍රදීප් දිලන්ත නැමැති දෙදරු පියෙකි.

මිය ගොස් ඇති බන්ධනාගාර ජේලර්වරයා 2008 වර්ෂයේ බන්ධනාගාර නියාමකවරයෙකු ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැදී, දිවයිනේ බන්ධනාගාර ගණනාවක සේවය කර, මීට මාස 7 ට පමණ ඉහතදී ගාල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වරකාපොළ අඹේපුස්ස පුනරුත්ථාපන කදවුරට සේවයට පැමිණ ඇති බවත් පොලිසිය පැවසීය.

26 වැනිදා දහවල් 12.30 ට රාජකාරී නිමා කොට 1 ට පමණ කෑගල්ල නගරයේ බැංකුවකට යන බව පවසා තවත් ජේලර්වරයෙකු සමග කෑගල්ල නගරයට පැමිණ, බැංකු රාජකාරී නිමවා හිතවත් ජේලර්වරයා කොටියාකුඹුර මත්තමගොඩ ප්‍රදේශයේ නිවසට ඇරලවා දැමීමට ඔහුට අයත් යතුරු පැදියෙන් ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. පසුව හිතවතා ඇරලවා ආපසු අඹේපුස්ස පුනරුත්ථාපන කදවුර වෙත ගමන් කරමින් සිටිය දී, ගලිගමුව නගරයට ආසන්නයේ දී යතුරු පැදිය පාරෙන් ඉවතට පැන බිත්තියක ගැටී ජේලර්වරයා තුවාල ලබා 1990 ගිලන් රථයෙන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණි. ඒ වන විටත් ජේලර්වරයා මිය ගොස් තිබුණු බව පොලිසිය පැවසීය.

මිය ගිය බන්ධනාගාර නියාමකවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ 27 වැනිදා දහවල් කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර නදීර මහතා විසින් සිදු කෙරිණ. පදවමින් ගිය යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන බිත්තියක ගැටී පැදිකරු වැටී මෙළයට හානි වීම හෙතුවෙන් සිදු වු හදිසි අනතුරු මරණයක් බවට කෑගල්ල හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය තීන්දු කළාය.

කෑගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර මාවඩවිලගේ යන නිලධාරින්ගෙ උපදෙස් පරිදි පොලිස් සැරයන් බුලත්සිංහල (57308) නිලධාරියා විමර්ශන කටයුතු සිදු කෙරිණ.


(09) අමානුෂික නීතියක් ලඟදීම දියවන්නාවට එයි!

පසුගිය රජය ජාත්‍යන්තර ණය දෙන ආයතන වල උපදෙස් පරදි කැබිනට් අනුමැතිය ලබාගත් “ඒකීය කම්කරු නීතිය” යනුවෙන් වූ අමානුෂික නීති කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් වලකින ලෙස රජයට යෝජනා කල යුතු බවත්, එය ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්ති වලට පටහැනි බවත් නිදහස් සේවක සංගමයේ මහ සභාවේදී (26) ඒකමතිකව සභා සම්මත විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග සහයෝගයෙන් දේශපාලන කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමෙන් ඉවත් වීමටද නිදහස් සේවක සංගමය මෙහිදී තීන්දු කළේය.

කොළඹ, පදනම් ආයතනයේදී පැවති ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ 10 වන නියෝජිත සම්මේලනයේදී යෝජනාවක් සම්මත කරමින් නිදහස් සේවක සංගමය මෙම තීරණයට එළඹියේය.

නිදහස් සේවක සංගමයේ විදුලි බල මණ්ඩලයේ ශාඛාවේ සභාපති ඩබ්ලිව් සී ඩී ප්‍රභාත් මහතා පළමු යෝජනාවද, ටෙලිකොම් ශාඛාවේ සභාපති මනෝජ් මනම්පේරි මහතා විසින් දෙවන යෝජනාවද ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග දේශපාලන කටයුතු සිදු කිරීමට අත්සන් කරන ලද ගිවිසුමෙන් කිසිදු ඵලදායී ප්‍රතිඵලයක් ලැබී නැති බැවින් එයින් ඉවත් විය යුතු බවද දෙවන යෝජනාවේ සදහන් කර තිබේ.

මෙම තෛයිවාර්ෂික නියෝජිත මහ සම්මේලනය සදහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සමූපකාර, වතු සමාගම්හි පිහිටුවන ලද ශාඛා වෘත්තීය සමිති 280 ක් නියෝජනය කරමින් නිලධාරීන් 300 කට ආසන්න පිරිසක් සහභාගී විය. නිදහස් සේවක සංගමයේ සමස්ථ සාමාජික සංඛ්‍යාව 60000 කට අධික බවද මෙහිදී අනාවරණය විය.

මෙම නියෝජිත සම්මේලනයේදී තවත් යෝජනා 04 ක් ඒකමතිකය සභා සම්මත විය:

  1. සංඛ්‍යාලේඛණ දත්ත අනුව ජීවන වියදම රුපියල් 21,814/- කින් වැඩි වී ඇති බැවින් සේවක අවම වැටුප රුපියල් 50,000/- ක් දක්වා වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීම.
  2. රාජ්‍ය ව්‍යාපාරවල සේවය කරන සේවකයින් සදහා 2015 අයවැයෙන් පසුව කිසිදු දීමනාවක් වැඩි වී නොමැති බැවින් රාජ්‍ය ව්‍යාපාර අංශයේ සේවකයින්ට රුපියල් 10,000/- අයවැය දීමනාවක් ඉල්ලා සිටීම.
  3. කම්කරු නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන උප කොන්ත්‍රාත්කාර (Manpower) අහෝසී කිරීමට රජයෙන් ඉල්ලා සිටීම.
  4. පසුගිය ආණ්ඩුව විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලද ඒකීය කම්කරු නීතිය සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින ලෙසත්, කූට වෙළෙදුන් විසින් සිදුකරන ආහාර සැගවීමේ ක්‍රියාවලිය පරාජය කිරීම සදහා සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කරන ලෙස.

මෙම යෝජනා පිළිවෙලින් ටෙලිකොම් ශාඛාවේ සභාපති මනෝජ් මනම්පේරි, ඛනිජ තෙල් ශාඛාවේ සභාපති ජගත් විජයගුණරත්න, ලේක්හවුස් ශාඛාවේ අනුර ගොඩකන්ද, සමූපකාර අංශයේ ජී ජී චන්ද්‍රසේන ඛනිජ තෙල් සංස්ථාවේ ජගත් විජයගුණරත්න යන මහත්වරුන් විසින් යෝජනා කරන ලද අතර, ගුවන් තොටුපල වෘත්තීය සමිතියේ ලේකම් රවීන්දු සුදර්ශණ මහතා විසින් ස්ථිර කළේය.


(10) වන්දනාවේ පැමිණ භාරයක් ඔප්පු කිරීමට කාවාඩි නටමින් සිටියදී…

පෙරෙදා (26 දා) රාත්‍රියේ 9 ට පමණ කතරගම පූජා භූමියේ බස්නායක නිලමේ කාර්යාලය ඉදිරිපිටදී, කාන්තාවක් ඇදවැටී කතරගම රෝහලට ඇතුලත් කිරීමට ගෙන එන අතරතුරදි මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ, මාදෑමුල්ල, විජය මාවතේ අංක 40 සී දරණ ලිපිනයේ පදිංචි විජිතා චාන්දනී මොහොමඩ් නැමති 61 හැවිරිදි කාන්තාවකි.

කතරගම හදිසි මරණ පරීක්ෂක සමන් වික්‍රමසිංහ මහතා මූලික මරණ පරීක්ෂණයක් පවත්වා මෘත ශරීරය දෙබරවැව මූලික රෝහල වෙත යවා ඇති අතර, එහිදී සිදුකළ මරණ පරීක්ෂණයේදී හෘදයාබාධයකින් මියගොස් ඇති බව අනාවරණයවී ඇත.

මියගොස් ඇති කාන්තාව පෙරේදා 26 දා උදෑසන ප්‍රියන්තිි රේණුකා මොහොමඩ් නැමැති 51 හැවිරිදි සොහොයුරිය ඇතුළු 10 දස දෙනෙකු පමණ පිරිසක් වෑන් රථයකින් කතරගම පැමිණ, කිරිවෙහෙර වැඳපුදා ගැනීමෙන් අනතුරුව කාවාඩියක් නටමින් සිටියදී මෙලෙස ඇද වැටුණු බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි දී ඇත.

මෙම කාන්තාවට ඇත්තේ එකම දියණියක් බවත්, ඇයද ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින බවත් මියගිය කාන්තාවගේ සොහොයුරියක් වන ප්‍රියන්ති රේණුකා මොහොමඩ් කියා සිටියාය.

මේ සම්බන්ධයෙන් කතරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.


(11) ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුවෙන් තමන් ඉවත්වන බවට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා (27) උදෑසන විවෘත අධිකරණයේ සදහන් කළේය.

ඒ අනුව පෙරවරුවේ එම නඩුවෙන් විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉවත් වීමෙන් අනතුරුව, නඩුව යොමු කරණු ලැබු සුජීව නිශ්ශංක මහතා ද දහවල් නඩුව කැඳවූ අවස්ථාවේ දි එම නඩුවෙන් තමන් ඉවත් වන බව දැනුම් දුන්නේය.

අනතුරුව නඩුව ලබන මැයි මස 21 වන දින කොළඹ ප්‍රධාන විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නාමල් රාජපක්ෂ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් පසුගිය පෙබරවාරි මස 18 වන දින මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අධිචෝදනා බාර දුන් අතර, එහිදී විත්තිකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් මිලියන දහයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කරමින් මෙම නඩුව ඊයේ දින දක්වා කල් තැබීය.

පසුගිය පෙබරවාරි මස 21 වන දින නඩුව විභාග කරන විනිසුරුවරයා පිළිබඳ සාමාජ මාධ්‍ය ඔස්සේ පෝද්දල ජයන්ත හා සනත් බාලසූරිය යන අය පළ කිරීම් දෙකක් සිදු කර ඇති බවට අධිකරණ රෙජිස්ටර්වරයා පෙබරවාරි මස 25 වන දින අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට අපහාසයක් සිදු වි ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් මහාධිකරණ රෙජිස්ටර්වරයා මහාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේය.

එහිදී අදාළ ෆේස්බුක් සටහන් සමඟ වාර්තාවක් ඉදිරිපත් කිරීමට විනිසුරුවරයා රෙජිස්ටාර්වරයාට නියෝග කළේය.

අනතුරුව එම කරුණු සලකා බලමින් විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ උදෑසන එම නඩුවෙන් ඉවත් වීමට පියවර ගත්තේය.

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට යයි රුපියල් මිලියන 70 ක මුදලක් ක්‍රිෂ් නැමැති සමාගමෙන් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න