(01) ගම්පිලට කරපු වැඩය

ඔස්ට්‍රේලියානු ජාතික සමාගම් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගේ අත්සන් ව්‍යාජ ලෙස සකස් කර ඇටෝනි බරපත්‍රයක් උපයෝගී කර ගනිමින් රුපියල් මිලියන 21 වෙනත් පාර්ශවයකට වංචනික ලෙස අලෙවි කිරීම හා ඒ සඳහා ආධාර අනුබලදීම යන්න චෝදනා හතර යටතේ ගොනු කර තිබූ නඩුවෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල හා සිඩ්නි ජයසිංහ යන විත්තිකරුවන් කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බළල්ලේ මහතා ඊයේ (24) නිදොස් කොට නිදහස් කළේය.

පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි ගොනුකර ඇති චෝදනා හතර සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර නොමැති බවට නිගමනය කරමින් විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවට සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

වසර නමයක දීර්ඝ නඩු විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව මෙලෙස තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

ඉකුත් 1996 සැප්තැම්බර් මස 26 වන දින 1997 සැප්තැම්බර් මස 25 අතර කාලය තුළ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කරන ලදැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල හා සිඩ්නි ජයසිංහ යන අයට එරෙහිව චෝදනා හතරක් යටතේ මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

නඩුවේ පළමුවන විත්තිකාර ජයම්පති ක්ලෑරි පෙරේරා ජයසිංහ හෙවත් සිඩ්නි ජයසිංහ භාරයේ තිබූ ඩිජිටල් නොමිනිස් පුද්ගලික සමාගම නමින් මිලදීගෙන තිබූ පෑන් ඒෂියා බැංකුවේ ව්‍යාපාර කොටස් පළමුවන විත්තිකරුගේ ප්‍රයෝජනයට ගැනීම සඳහා අනුබලදීම මගින් සාපරාදී විශ්වාසය කඩකිරීම, බ්‍රයන් ජෝන් ෂැඩි සහ ජෙනම් එලිසබෙත් සැඩි යන අය එම අධ්‍යක්ෂකවරුන් ලෙස අත්සන් නොකළ බව දැන දැනම 1997 අප්‍රේල් මස 18 වන දින සහතික කළ බවට දැක්වෙන ඇටෝනි බලපත්‍රය වනික් ඉන් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වන අජිත් මහේන්ද්‍ර ද සිල්වා ජයරත්න යන අයට ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේ මෙම නඩුව ගොනුකර තිබිණි.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.


(02) කළු ගංගාව දෙකක් බිලි ගනී!

කළුතර කලපුවේ විනෝදයට ඔරු පදිමින් සිටී පුද්ගලයන් දෙදෙනෙකු දියේගිලී මියගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කල බව කලුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇති පුද්ගලයන් දෙදෙනාම කලුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී මොහොමඩ් උසයිර් මොහොමඩ් ඉන්සාෆ් නමැති 33 හැවිරිදි පුද්ගලයකු සහ මොහොමඩ් හුසයින් නමැති පුද්ගලයන් දෙදෙනකු බවට හදුනාගෙන ඇති බව පොලිසිය කීය.

මියගොස් ඇති එක් තැනැත්තකු දින දෙකකට පෙර කලපුවේ ඔරු පදිමින් සිටින බව දන්වා දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවත්, ඉන්පසු තොරතුරක් නොලැබී ඇති බවත් ප්‍රකාශ වලින් හෙලිව ඇති බව පොලිසිය සදහන් කරයි.

මළසිරුරක් කලුතර කලපුවේ පාවෙමින් තිබෙන බවට ලද දුරකථන ඇමතුමක් අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, පැය තුනකට පමණ පසුව තවත් මළසිරුරක් හමුව ඇති බවත්, කලුතර හදිසි මරණ පරීක්ෂක කේ. දිලුක්ෂිනී මහත්මිය මරණ පරීක්ෂණය සිදුකර ඇති බවත් පැවසේ.

කලුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ගේ උපදෙස් පරිදි සැරයන් එස් ඒ ආර් කේ ද සිල්වා (55318) පරීක්ෂණ පවත්වති.


(03) පක්ෂ මදි නිසා තවත් අලුත් පක්ෂයක් ලංකාවට එයි!

සමස්ථ ලංකා ජනතා පෙරමුණ ලෙස නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම සඳහා අදාල කටයුතු ආරම්භ කර ඇති එහි මහා ලේකම් රාජ් ප්‍රසාද් මහතා පවසයි.

හැටන්හි පිහිටි එම පෙරමුණේ මුලස්ථානයේදී මාධ්‍ය වෙත මේ බව පැවසු රාජ් ප්‍රසාද් මහතා එහිදී වැඩි දුරටත් මෙසේද පවසන ලදී:

“2016 වර්ෂයේ සිට වසර 09ක කාලයක් වෘත්තිය සමිතියක් ලෙස වතුකරය ඇතුළු ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනතාවට අපි විවිධ ආකාරයෙන් සේවාවන් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. එවන් තත්වයන් මත අපි මෙය දේශපාලන පක්ෂයක් ලෙස නව ලාංජනයක් යටතේ ලියා පදිංචි කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන මැතිවරණ කාර්යාලයට බාර දීමට පියවර ගත්තා.”

“අප පක්ෂයේ නායකයා ලෙස ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා කටයුතු කරන අතර, ඔහුගේ නායකත්ව උපදෙස් මත මෙම පක්ෂය ලියාපදිංචි කිරීමට කටයුතු කළ අතර මෙම පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස ලියා පදිංචි කිරීමෙන් අනතුරුව ඉදිරි මැතිවරණවලදී එම නව පක්ෂ ලාංජනය යටතේ දේශපාලන කටයුතුවල යෙදීමට අපි පියවර ගන්නා ඒ තුලින් මේ රටේ අහිංසක ජනතාවට ලබා දිය හැකි උපරිම සේවයක් ලබා දීමට පියවර ගන්නවා.”


(05) මතර නූපේ ගින්නක්!

හදිසියේ ඇතිවූ ගින්නක් හේතුවෙන් මාතර නූපේ හන්දියට නුදුරින් ඇති උත්සව අවස්ථාවන් සඳහා මල් ඇතුළු උපාංග අලෙවි කරන වෙළඳ සැලකට සහ මාතර කුමාරතුංග මාවතේ රුහුණු සේවය ඉදිරිපත් ලොණ්ඩරියකට රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුව ඇතැයි මාතර මූලස්ථාන පොලිසිය පවසයි.

ඊයේ (24) ඇතිවූ මෙම ගිනි ගැනීම් දෙකම විදුලි කන්දුවක් හේතුවෙන් ඇතිවූවක් බවට පොලිසිය සැක කරන අතර, නූපේ හන්දියට නුදුරින් පිහිටි උත්සව අවස්ථාවන් සඳහා මල් ඇතුළු උපාංග සපයන වෙළඳ සැලට අලුතින්ම ගෙන එන ලද රුපියල් ලක්ෂ අසූවක් වටිනා කන්ටේනරයක බඩු මුළුමනින්ම විනාශ වී ඇති අතර, වෙළඳ සැලෙහි තිබූ අනෙකුත් බඩුබාහිරාදියට මෙන්ම එහි තිබූ ලෝරි රථ තුනකට හා යතුරුපැදියකට ද ගින්නෙන් හානි සිදුව තිබූ බව මාතර මූලස්ථාන පොලිසිය පැවසුවේය.

මල් වෙළඳ සැලෙහි ඇතිවූ ගින්න හේතුවෙන් ආසන්නයේ පිහිටි පෞද්ගලික බැංකුවකට හා වෙළඳ සැලකටද හානි සිදුව ඇතැයි ද පොලිසිය පැවසුවේය.

මෙයට අමතරව, මාතර කුමාරතුංග මාවතේ රුහුණු සේවය ඉදිරිපත් තිබූ ලොන්ඩරියක් ගිනිගෙන මුළුමනින්ම විනාස වී තිබේ. එහි තිබූ රෙදි පිළි, ගෘහ උපකරණ මෙන්ම ගොඩනැගිල්ලේ වහලයද ගින්නෙන් විනාශ වී තිබේ.

ගින්න පැතිරීමත් සමග මාතර මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් හා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදාගෙන මාතර මූලස්ථාන පොලිසිය, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවීම සඳහා ක්‍රියාකර තිබේ.

සිදුවීමෙන් පසු මාතර මූලස්ථාන පොලිසිය, මාතර කොට්ඨාස අපරාධ ස්ථාන පර්යේෂණාගාරය එක්ව විමර්ශන සිදු කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට පියවර ගෙන තිබුණි.


(06) වෛද්‍යවරි එන්නේ නැතුව අවුලක්!

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව ඊයේ (24දා) පැවැත්වීමට නියමිතව තිබුණද, එම හඳුනා ගැනීමේ පෙරට්ටුව මේ මස 28 වන දා දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.

ඊයේ (24දා) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා පැමිණිලිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම පෙරෙට්ටුව මෙලෙස, දෙවන වරටත් යලි කල් දැමීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට සිදු විය.

මෙම සිද්ධියේ පැමිණිලිකාර වෛද්‍යවරිය පෞද්ගලික හේතුවක් මත අද (24) දිනයේද අධිකරණය හමුවේ පෙනී නොසිටින බව අනුරාධපුර පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මේ අතර, පැමිණිලිකාර වින්දිත වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන්, අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පැවසුවේ, මෙම සිද්ධිය පිළිබඳව ප්‍රධාන මාධ්‍ය සහ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සංසරණය වෙමින් පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් මෙම නඩුව කැඳවීමට නියමිත ලබන 28 වනදා දීර්ඝව තරුණු දැක්වීමට අපේක්ෂා කරන බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පවසා සිටියේය.

මෙම කරුණු සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුව එළැඹෙන (28දා) පැවැත්වීමටත් එදින දක්වා සැකකරු යලි රිමාන්ඞ් භාරයට පත් කිරීමටත් නියෝග කරනු ලැබීය.

සැකකරු එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාටද නියෝග කෙරිණි.

මෙසේ යළි රිමාන්ඞ් භාරයට පත් කලේ ගල්නෑව නව නගරය, ඩී තුන, ඇළ පාර ලිපිනයේ පදිංචි නිලන්ත මදුරංග රත්නායක නැමැති හිටපු යුද හමුදා සෙබලෙකු මෙන්ම චීවරධාරියකි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සැකකාර හිටපු යුද හමුදා සෙබළාගේ නිවසේ පාත්තරයක් මත තිබී, ජීව බෝම්බයක් පොලිසිය විසින් සොයා ගැනුණු අතර, එම ජීව අත්බෝම්බය අධිකරණ නියෝග මත පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පුපුරවා විනාශ කර හැරිණි.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී නිශානි සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද මහතා මහතා පෙනී සිටි අතර, අගතියට පත් පැමිණිලිකාර වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ. සහ සැරයන් රංජිත් යන මහත්වරුන් පෙනී සිටියහ.


(07) කොරිබත් කොඩ හැදුම් හොරා ගේ රෙදි ගැලවේ!

කිරිබත්ගොඩ නගරයේ පිහිටි ප්‍රසිද්ධ නිමි ඇදුම් ආයතනයකින් රුපියල් 25,200.00 ක් වටිනා නිමි ඇදුම් සොරකම් කළ තරුණයෙකු, ආයතනයේ සේවකයෙකු විසින් පරීක්ෂා කර පසුව කිරිබත්ගොඩ පොලිසියට බාර දී සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පසුගිය 23 වන දා සවස අත් අඩංගුවට ගත් සැකකාර ශිෂ්‍යයා බත්තරමුල්ලේ ජයවඩනගම පදිංචි කොළඹ ආරක්ෂක විදුහලේ 13 වසරේ කලා අංශයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු බවට අනාවරණය වී ඇත.

ජංගම දුරකථනයක් මිලදී ගැනීම වෙනුවෙන් මුදල් සොයා ගැනීමට මෙම සොරකම් කළ බවත්, මීට පෙර අවස්ථා කීපයකදී මෙම ආයතනයෙන් ඇදුම් සොරකම් කළ බවත් සිසුවා පොලිසියට ප්‍රකාශ කර ඇත.

සැකකාර සිසුවාගේ පියා නාවික හමුදාවෙහි සේවය කර විශ්‍රාම ලබා සිටින අයෙක් බව පොලිසිය සිසුවාගෙන් කළ ප්‍රශ්ණ කිරීමේදී ඔහු පවසා ඇත.

සැකකරු 24 වන දා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.


(08) වරෙන්තු කරුවන් රෑනනක් ඉංග්‍රිෙයන් අල්ලයි!

වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කළ මෙහෙයුමකදී නිවැසියන් සමඟ එක්ව ප්‍රථමව පොලිසියට එරෙහිවූ ගම්වාසීන්ගේම සහය ඇතුව පසුව අදාළ වරෙන්තුකරු සහ පවුලේ සාමාජිකයින්ද සමඟින් එකවර හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් ඉංගිරිය පොලිසියෙන් වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය, ඌරුගල ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයෙකු සහ ඔහුගේ මව, සහෝදරයෙකු, ලොකු අම්මා සහ ඇයගේ සැමියා සමඟ වරෙන්තුකරුගේ යහළුවෙකි.

සිද්ධියට සම්බන්ධ වරෙන්තුකාර තරුණයා හෙරොයින් මිලිග්‍රෑම් 15ක් ළඟ තබාගැනීම සහ පහරදී තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින අයෙකු වන අතර, දීර්ඝ කාලයක සිට පොලිසිය මඟහරිමින් සැඟවී සිට ඇත.

ලැබුණු රහසිගත තොරතුරකට අනුව හොරණ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි, ස්ථානාධිපති කේ.ඒ.එන්.ඩී.කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පොලිස් කණ්ඩායමක් මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී ඔහුගේ පවුලේ සාමාජිකයින් රැසක් සහ ගම්වාසීන් විශාල පිරිසක් අදාළ තරුණයා පොලිස් භාරයට ගැනීමට එරෙහිව දැඩි විරෝධයක් දක්වා ඇති අතර, පසුව කරුණු නිසියාකාරයෙන් තේරුම්ගත් පළමුව විරුද්ධ වූ ගම්වාසීන්ම පොලිසියට සිය සහය පළකර වරෙන්තුකරු සමඟ පිරිස අත්අඩංගුවට ගැනීමට සහයෝගය පළකර තිබේ.

එසේම කිසිදු ආකාරයක බුරුලක් නොදක්වා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉංගිරියට නව පත්වීමක් ලබා පැමිණි ස්ථානාධිපති කේ.ඒ.එන්.ඩී.කොල්ලුරේ මහතා ඇතුළු නිළධාරීන්ට ගම්වාසීන් සිය ප්‍රසාදය පළකළ බවද වාර්තා වන අතර, මෙහෙයුම අතරතුරදී පැනගිය වරෙන්තුකරුගේ යහළුවෙකු අත්අඩංගුවට ගැනීමට සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.


(09) පොහොට්ටුව අධිකරනයට යයි!

ප්‍රතික්ෂේප වූ නාමයෝජනා කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

පලාත් පාලන ආයතන 263 ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා පිළිඅරගෙන තිබෙන බවත්, ප්‍රතික්ෂේප වූ කිහිපයෙන් බොහෝමයක් නාමයෝජනා තරුණයින් සඳහා ලබාදුන් උප්පැන්න සහතිකය පිළිනොගැනීම මත ප්‍රතික්ෂේප වූ ඒවා බව කී ලේකම් වරයා මේ කාරණය සම්බන්ධයෙන් අධිකරණයේ මැදිහත්වීම බලාපොරොත්තුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවේ දී ලේකම් වරයා මේ බව පැවසීය.


(10) කිරිපත්ගොඩ ඉඩමකට කූඨ ලේඛණ හදයි!

කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු ඇමැතිවරයෙකු වන ආචාර්ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප ලබා දීම සම්බන්ධව පොදු දේපල පනත යටතේ අසාමාන්‍ය කරුණු ඉදිරිපත් නොවු හෙයින් ඔවුනට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් තවදුරටත් ලබන අප්‍රේල් මස 03 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය විසින් ඊයේ (24 වැනිදා) පස්වරුවේ ඇප ලබාදීම පිළිබඳව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියම කරන ලදී.

තවද දැනට සැගවී සිටින සැකකරුවන් තිදෙනාට අත් අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ එම සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා නොතිසි නිකුත් කර තිබෙන හෙයින් එම තත්ත්වය යටතේ ඔවුන් අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බව යන්නය.

ඉකුත් 17 වැනිදා පැවති එම නඩු විභාගයේදී සැකකරුවන්ගේ නීතිඥවරුන් විසින් ඔවුන්ට ඇප ලබා ගැනීම සඳහා අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධව ඇප ලබාදීම පිළිබඳව තීන්දුව ඊයේ (24 වැනිදා) ප්‍රකාශයට පත් කරන බවට මහේස්ත්‍රාත්වරිය විසින් කළ ප්‍රකාශය අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර ගත කර සිටින සැකකරුවන් තිදෙනාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් එසේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

හිටපු ඇමැතිවරයෙකු වන ආචාර්ය මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වන වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් හා නවින් වීරකෝන් යන තිදෙනා මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙදින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබු හෙයින් එම නියෝගය ඔවුන්ට බන්ධනාගාරය මගින් දන්වන බවද මහේස්ත්‍රාත්වරිය පැවසුවාය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය:

“මේ සිද්ධිය සම්බන්ධව එවකට කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, එම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන මිල්රෝයි පෙරේරා හා දොන් සරත් කුමාර එදිරිසිංහ යන තිදෙනා අත් අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරනවා. ඔවුන් පදිංචි නිවෙස් වල ඔවුන් මේ වනවිට නැහැ. ඒ නිසා ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අද දින (24 වැනිදා) අභියාචනාධිකරණයට ඉල්ලුම් පතක් ද ඉදිරිපත් කර තිබෙනවා.”

“මීට සම්බන්ධ තවත් සැකකරුවෙකු වන උපාලි අබේගුණවර්ධන පේමසිංහ යන අය මිය ගිහින්. ඔහුගේ මරණ සහතිකය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. එබැවින් තවමත් විමර්ශන කටයුතු අවසන් නැති බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් තිදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටිනවා.”

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් එම සැකකරුවන්ට ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන නිසා එම තීන්දුවේ පිටපතක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් පැමිණිල්ල මෙහෙයවු අතර සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන මෛත්‍රී ගුණරත්න, නෙවිල් අබේරත්න, නීතිඥවරුන් වන ප්‍රදීප් ගමගේ, විශ්ව ගුණරත්න, විරේන්දා කනංකෙගේ හා දේශාල් පෝල් ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියහ.


(11) කුරුණෑගල අතුගල් පුරවර ඉඩමක මුද්දරයක් හරස් වෙයි!

කුරුණෑගල ප්‍රාදේශයේ ඉඩමක් වෙනුවෙන් රජයට ගෙවිය යුතුව තිබූ රුපියල් 240,000 ක හිග මුද්දර ගාස්තුව රුපියල් ලක්ෂය දක්වා අඩුකරදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරිනියක් අප්‍රේල් මස 1 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (23) නියෝග කළාය.

කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර නිලධාරිනිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

පැමිණිලිකාර පුද්ගලයා 2022 වර්ෂයේදී කුරුණෑගල ප්‍රදේශයෙන් ඉඩමක් මිලදීගෙන ඇති බවත් ඒ අනුව 2025 දක්වා කාලයට අදාළව රුපියල් දෙලක්ෂ හතලිස් දහසක හිග මුද්දර ගාස්තුවක් රජයට ගෙවීමට තිබී ඇති බවද විමර්ශන නිලධාරිහු අධිකරණයට දැන්වූහ.

එම හිග මුද්දර ගාස්තු මුදල රජයට ගෙවිය යුතු බව සඳහන් කරමින් වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුව මගින් පැමිණිලිකාර පුද්ගලයාට ලිඛිතව කළ දැනුම් දීමක් අනුව ඔහු එම දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇති බවත් එසේ ගිය අවස්ථාවකදී සැකකාර කාන්තාව එම හිග මුද්දර ගාස්තුව රුපියල් අසූ දහස දක්වා අඩුකර දිය හැකි බවත් ඒ වෙනුවෙන් තමන්ට රුපියල් පනස්දහසක මුදලක් ලබාදෙන ලෙසට ඇය පැමිණිලිකරුගෙන් ඉල්ලා ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.

තම ස්වාමිපුරුෂයාගේ රූප ස්වභාවයද පැමිණිලිකරුගේ රුව හා සමාන බැවින් තමන්ට රුපියල් පනස්දහසක මුදලක් පමණක් ලබා දෙන ලෙසත් එය කාර්යාලයේ මේසය මත තිබෙන පොතක් ඇතුලට දමන ලෙසට සැකකාර කාන්තාව පැමිණිලිකරුට දන්වා ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වීය.

ඒ අනුව පැමිණිකාර පුද්ගලයා අදාළ මුදල සැකකාරිය දැනුම් දුන් ස්ථානයේ තබා ඇති බවත් එසේ තබන ලද මුදල සැකකාර කාන්තාව ලබා ගත් අවස්ථාවේදී උපාය දූතයන් වශයෙන් කටයුතු කළ විමර්ශන නිලධාරීහු ඇය අත්අඩංගුවට ගෙන ඇති බවද පැමිණිල්ල මෙහෙය වූ විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.


(12) කිර කිරි සම්බා හිඟයක් කඩපොලේ

මෙම දිනවල දිවයින පුරා සහල් වෙළෙඳපොළ තුළ නැවතත් කීරි සම්බා සහල් වල හිඟයක් පවතින බව හෝටල් හිමියෝ සහ පාරිභෝගිකයෝ පවසති.

හෝටල් හිමියෝ වැඩි දුරටත් පවසන්නේ මේවන විට පාලන මිලට කීරි සම්බා මිලදී ගැනීමට නොමැති බවත් පාලන මිලට වඩා වැඩි මිලට කීරි සම්බා මිලදී ගෙන තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් ඇති වී ඇති බවත්ය.

එසේම පාරිභෝගික ජනතාවද පවසන්නේ මෙම දිනවල වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහල් වැඩි මිලට හෝ මිලදී ගැනීමට නොහැකි බවත් ඉදිරි අලුත් අවුරුදු කාලය තුළත් මෙසේ කීරි සම්බා සහල් හිඟය පැවතිය හැකි බවත්ය.

මෙම දිනවල වෙළෙඳපොළ තුළ පවතින කීරි සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් අදහස් දක්වන සිල්ලර වෙළඳ සැල් හිමියෝ පවසන්නේ මෙම දිනවල සහල් තොග වෙළෙන්දෝ ප්‍රමාණවත් තරම් කීරි සම්බා සහල් වෙළෙඳපොළට නිකුත් නොකිරීමත් පාලන මිලට වඩා කීරි සම්බා සහල් වල තොග මිල ඉහළ යෑමත් නිසා මෙසේ මෙම දිනවල වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහල් හිඟයක් ඇතිවී ඇති බවයි.

සිල්ලර වෙළෙන්දෝ තවදුරටත් පවසන පරිදි රජය විසින් කීරි සම්බා සඳහා රුපියල් 260 ක් ලෙස උපරිම මිලක් නියම කළත් මෙම දින වල වෙළෙඳපොළට කීරි සම්බා නිකුත් කරනු ලබන මහා පරිමාණ සහල් වෙළෙන්දෝ කීරි සම්බා කිලෝ එකක් නිකුත් කරනා තොග මිල රුපියල් 300 ඉක්මවා ඇති නිසා තමන් මේ වන විට කීරි සම්බා සහල් විකිණීම නවතා දමා ඇති බවයි.

එසේම සිල්ලර වෙළෙන්දෝ වැඩිදුරටත් පවසන්නේ රජය විසින් මෙම කීරි සම්බා සහල් හිඟය පියවීමට කටයුතු කරන්නේ නැත්නම් ඉදිරි අලුත් අවුරුදු කාලය තුළද දැඩි ලෙස කීරි සම්බා සහල් හිඟයක් වෙළෙඳපොළ තුළ පවතිනු ඇති බවයි.


(13) පෙම්වතාගේ බිත්තයේ සිටි සිටි මාරයා පෙම්වතිය බිලි ගනී!

පෙම්වතාගේ නිවසට ගොස් සිටියදී නිවසේ තාප්පයක ශරීරය මතට පතිතවී පෙම්වතිය මියගොස් ඇති පුවතක් කලුතර උතුර පොලිසිය පොලිසියෙන් වාර්තාවේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටී ප්‍රසාදිනී ප්‍රියංගිකා නමැති 23 හැවිරිදි තරුණියක බව පොලිසිය කීය.

මියගොස් ඇති තරුණියගේ පෙම්වතා ආරක්ෂක හමුදාවක සේවය කරන අතර, ඔහු නිවාඩුවට පැමිණ සිටියදී ඔහුගේ අත්තම්මා බැලීමට අවශ්‍ය බවට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් පසු ඇයව නිවසට ගොස් කැටුව විත් ඇති බව සඳහන් වේ.

එහිදී තරුණයා නිවස සිටුපස එළුවන්ට කෑම දැමීමට ගොස් සිටියදී තරුණියද නිවස පිටුපස තාප්පය අසල සිටියදී එය ශරීරය මතට කඩාවැටි ඇති බවට හෙලිව ඇති බවද පොලිසිය සඳහන් කරයි.

කලුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.


(14) නුවර ගෑස් හිඟයිලු

මාස කිහිපයක් තිස්සේ නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ ලාෆ් ගැස් හිගයක් පැවතීම හමුවේ ලාෆ් ගැස් පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වී ඇත.

නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ ලාෆ් ගැස් පාරිභෝගිකයන් විශාල පිරිසක් සිටින අතර, ලාෆ් ගැස් සිලින්ඩරයට වෙනත් සමාගම් වල ගෘහස්ථ ගැස් සිලින්ඩර් නිකුත් නොකිරීම නිසා ගැස් පාරිභෝගිකයක් මෙසේ අසිරුතාවයට පත් වී ඇත.

අනෙකුත් ගැස් එජන්තවරුන්ගෙන් අලුතින් හිස් ගැස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ලාෆ් ගැස් පාරිභෝගිකයන් ඉල්ලා සිටියත්, එම සමාගමෙන් පාරිභෝගිකයන්ට අලුතින් හිස් ගැස් සිලින්ඩර් නිකුත් නොකරන බව පැවසු බව පාරිභෝගිකයන් පැවසිය.

අප මේ සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන් කිහිපදෙනෙකුගෙන් කළ විමසුමකට එම අලෙවි නියෝජිතයන් කියා සිටියේ සමාගමෙන් මාස කිහිපයක් තිස්සේ ලාෆ් ගැස් තම එජන්සිය වෙත නිකුත් නොකිරීම නිසා පාරිභෝගිකයන් මෙසේ පිඩාවට පත් වී ඇත.


(15) ජලය ඉවත් කර විදුලියට පාඩුව රුපියල් මිලියින 262.06 ක් ලු

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් විදුලිය ජනනය නොකර රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය මුදා හැරීම නිසා පුද්ගලික විදුලිය මිලදී ගැනීමේදී ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 262.6ක පාඩුවක් සිදුවී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

විදුලිබල මණ්ඩලයේ නිලධාරින් විසින් 2022 වර්ෂයේදී ගත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් විදුලිය ජනනය නොකර රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය මුදා හැර තිබුණි. මේ සඳහා වගකිවයුතු නිලධාරින්ගෙන් මණ්ඩලයට සිදුවී ඇති පාඩුව අයකරගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි. මේ පිළිබඳ සොයාබැලීම සඳහා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් 2022 වර්ෂයේදී කමිටුවක් පත්කොට තිබුණි. එම කමිටු විසින් ඉදිරිපත්කොට තිබූ කමිටු වාර්තාව අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර 2023 වර්ෂයේදී නව කමිටුවක් පත්කොට තිබුණි. එම කමිටු වාර්තාව 2023 වර්ෂයේදී අධ්‍යක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත්කොට තිබුනද 2024 වර්ෂයේ මැයි මස අවසන් වනවිටත් කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කොට නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම කමිටු දෙකෙහි සාමාජිකයින් සඳහා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 1.23 මුදලක්ද ගෙවා තිබුණි. කමිටුවේ නිර්දේශ සුදුසු පරිදි ක්‍රියාත්මක කොට මේ සඳහා වගකිවයුතු නිලධාරින්ගෙන් සිදුවී ඇති අලාභය අයකරගැනීම සඳහා වහාම කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ කමිටුවේ නිර්දේශ සුදුසු පරිදි ක්‍රියාත්මක කරන ලෙස විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා විසින් සියලුම අංශ ප්‍රධානින්ට, ප්‍රධාන නීති නිලධාරි හා අභ්‍යන්තර විගණක වෙත දැනුම් දී ඇති බවයි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න