ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අධ්‍යයන සුභ සාධන මෙන් ම අනෙකුත් නිපුණත්වයන් ඉහළ දැමීම අරමුණු කර ගත් වැඩසටහන් රාශියක් දීපව්‍යාප්තව සංවිධානය කිරීමට පියවර ගන්නා බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  පැවසී ය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයින් සමග  පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිණි.

වර්තමානය වන විට වෘත්තීය මාධ්‍යවේදීන්ට බලපාන වෘත්තීය ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අරමුණින් සහ අභිමානවත් වෘත්තීය ජනමාධ්‍යවේදීන් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට දායාද කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම හමුව පැවැත්විණි.

ජනමාධ්‍යවේදීන් සදහා රක්ෂණාවරණයක් ඇති කිරීම ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ ස්වයං නියාමනයන් ඇති කර ගැනීමට යන කරුණු පිළිබඳව අවධානය යොමු කරන බව ඒ මහතා කීය.

මේ සඳහා මුදල් අමාත්‍යාංශය සහ ඊට අදාළ අනෙකුත් අංශ  සමඟ ද සාකච්ඡා කර ඒ සදහා ක්‍රමවත් වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන බව ද  අමාත්‍යවරයා පැවසී ය.

මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව වෘත්තීය දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදා කර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබඳ වරලත් ආයතනයක් ස්ථාපිත කිරීම පිළිබදව අවධානය යොමු කරන බව ද ඇමති වරයා කීය.

ඊට අදාළ මුලික පියවරයන් මේ වන විටත් ක්‍රියාත්මක කර අවසන් බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී එම නියෝජිතයන් හමුවේ පැවසී ය.

මෙරට වෘත්තීය ජනමාධ්‍යවේදීන් සදහා ආචාරධර්ම පද්ධතියක් ක්‍රියාක්මක වූවත් වර්තමානය වන විට එහි යම් යම් සංශෝධන සිදු විය යුතු බව පෙනී ගොස් ඇති බව ද මාධ්‍ය ආයතන සදහා ප්‍රමිතිකරණ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා හමුවේ එම නියෝජිතයින් මෙහි දී මතු කර සිටියේ ය.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අංග සම්පූණ අධ්‍යයන පාඨමාලාවන් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කර සිටියේ ය.

ජනමාධ්‍යවේදීන්  සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව  ලබා දෙන ජනමාධ්‍ය හැඳුනුම්පත ලබා දීමට පෙර නියාමනයක් සිදු කර එම හැදුනුම්පත් ලබා දෙන ලෙසට එම නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටියේ ය.

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත්කර තිබු බවත් මින් ඉදිරියට එවන් වැරදි සිදු නො වීමට දැඩි තීරණයක් ගෙන තිබෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.

වර්තමානය වන විට වෘත්තීය මාධ්‍යවේදීන්ට සිය  වෘත්තීයට අදාළ කාර්යයන් ඉටු කිරීමේ දී විවිධ ගැටලු රාශියකට මුහුණ දීමට සිදු ඇතිබව ද ඇමති වරයා කීය.

වත්මන් රජය යටතේ ජනමාධ්‍යවේදීයාගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර දීමට උපරිමයෙන් දායකවන බවත් අදාළ අනෙකුත් ගැටළු වලට කඩිනමින් විසදුම් ලබා දීමට පියවර ගන්නා බව ද  හෙතෙම ප්‍රකාශ කළේ ය.

මෙහි දී මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයන් සිය ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියක් අමාත්‍යවරයාට භාර දීම ද සිදු විය.

මෙම අවස්ථාවට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක තරිඳු උඩුවර ගෙදර ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි උපලේකම් ඉන්දිරා ප්‍රියදර්ශනී භාණ්ඩාගාරික රිස්වාන් සේගු යන මහත්ම මහත්මින් ඇතුළුව මාධ්‍යවේදීන් පිරිසක් ද එක් ව සිටිය හ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න