ජනතා අභිලාශයන් වඩාත් තීව්‍රව ඇති මොහොතක එම අපේක්ෂා ඉටු කිරීමට පාර්ලිමේන්තු   ක්‍රමවේදය පිළිබඳ පරිචය ඉතා වැදගත් – කථානායක ගරු ආචාර්ය අශෝක රන්වල දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව මන්ත්‍රීවරයන්ට පවසයි

  • සිදුවූ පරිවර්තනය හරහා මහජනතාව තුළ තිබෙන දේශපාලන පරිනතභාවය තේරුම් ගෙන කටයුතු කිරීමට මහජන නියෝජිතයන්ට සුවිසාල වගකීමක් පැවරී තිබෙනවා – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
  • විවෘත පාර්ලිමේන්තු සංකල්පය ශක්තිමත් කරමින්, මහජන නියෝජිතයන් හරහා පාර්ලිමේන්තුව පුරවැසියාට වඩාත් සමීප කිරීමට කටයුතු කළ යුතුයි  –  විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස
  • මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයන් 162ක්ම  නවක මන්ත්‍රීවරයන් වීම සුවිශේෂී ලක්ෂණයක් – කුෂානි රෝහණදීර, පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම්

ජනතා අභිලාශයන් වඩාත් තීව්‍රව ඇති මොහොතක එම අපේක්ෂා ඉටු කිරීමට පාර්ලිමේන්තු   ක්‍රමවේදයන් පිළිබඳ පරිචය ඉතා වැදගත් බව ගරු කථානායක ගරු ආචාර්ය අශෝක රන්වල මහතා අද පාර්ලිමේන්තුවේදී අභිනව මන්ත්‍රීවරුන්ට පැවසීය. දසවැනි පාර්ලිමේන්තුවට අභිනවයෙවන් තේරී පත්වූ මන්ත්‍රීවරයන් වෙනුවෙන් සංවිධානය කර තිබෙන දැනුවත් කිරීමේ වැඩමුළුවේ අද (25) පැවති  සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින්  එතුමා මෙම අදහස් පළකළේය.

පාර්ලිමේන්තුව තුළ විවිධ පක්ෂ සහ දේශපාලන නියෝජිතයන් සිදුකරන සංවාද තුළින් ජනතාවට සේවය කිරීමට පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යනාදිය පිළිබඳව මනා අවබෝධය සහ දැනුම අත්‍යවශ්‍ය බැවින් මෙවැනි වැඩමුළුවක් සංවිධානය කිරීම ඉතා වැදගත් බවත් සඳහන් කළ කථානායකවරයා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය ඇතුලු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙත සිය ස්තුතිය පළ කළේය.

මෙම අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ ජනතාව ඉතාම ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දී ඇති මොහොතක ජනතා අපේක්ෂාවන් උපරිමයෙන් ඉටු කිරීම සියලු මන්ත්‍රීවරයන්ගේ ප්‍රධාන අපේක්ෂාව විය යුතු බවයි. පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාව තුළ තිබූ මතය වෙනස් කරමින්  යන ගමනේදී මන්ත්‍රීවරයාට විශාල වගකීමක් පැවරෙන බව ද ඇය පෙන්වා දුන්නාය.

පසුගිය කාලවකවානුව තුළ සිදු වූ දේශපාලන, සමාජ පරිවර්තනයෙන් මහජනතාව තුළ තිබෙන දේශපාලන පරිනතභාවය පිළිබිඹු වන බවත්, එම පණිවිඩය තේරුම් ගත් පිරිසක් ලෙස මහජන නියෝජිතයන්ට සුවිසාල වගකීමක් නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ට පවතින බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. ඒ සඳහා කැපවීමෙන් වැඩ කරන ලෙසත් මෙම වැඩමුළුව සඳහා ඒ සඳහා රුකුලක් බවත් ඇය

පෙන්වා දුන්නාය. මෙවර පාර්ලිමේන්තුව, මෙරට ඉතිහාසයේ සුවිශේෂි පාර්ලිමේන්තුවක් බවත්  වැඩිම කාන්තා නියෝජනයකින් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් 22කින්  සමන්විත පාර්ලිමේන්තුවක් වීම වඩාත් සාධනීය ඉදිරි පියවරක් බවත් සඳහන් කළේය.

විවෘත පාර්ලිමේන්තු සංකල්පය ශක්තිමත් කරමින්, මහජන නියෝජිතයන් හරහා කෙරෙන කාර්ය භාරය පුරවැසියාට වඩාත් සමීප කිරීමට කටයුතු කල යුතු බවට ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කරනු ලැබීය. මන්ත්‍රීවරයන් ලෙස පාර්ලිමේන්තු ක්‍රමවේදය, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව මනා අවබෝධයකින් යුක්ත විය යුතු බවද එතුමා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයන් 162 ක්ම  නවක මන්ත්‍රීවරයන් වීම දසවැනි පාර්ලිමේන්තුවේ  සුවිශේෂී ලක්ෂණයක් බව  පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. සුවිශේෂී දැනුමක් ඇති, අත්දැකීම් බහුල නිලධාරීන්ගේ  සම්පත් දායකත්වය  ඔස්සේ පවත්වනු ලබන මෙම වැඩමුළුවෙන් සියලුම මන්ත්‍රීවරයන් උපරිම ප්‍රයෝජන ගනු ලබනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවට මහ ‌ලේකම්තුමිය තවදුරටත් පැවසිය.

මෙහිදී පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පාර්ලිමේන්තු ක්‍රමවේදය සහ පරිචයන් පිළිබඳව ගරු මන්ත්‍රීවරයන්ට පැහැදිළි කිරිීමක් සිදු කළ අතර කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳව දැනුවත් කිරීම සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක ගරු වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස, සභානායක අමාත්‍ය ගරු බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

නව පාර්ලිමේන්තුවක් ආරම්භයේ සම්ප්‍රදායිකව සිදුකරනු ලබන කටයුත්තක් ලෙස සංවිධානය කර තිබෙන මෙම වැඩමුළුව හෙට (26) සහ අනිද්දා  (27)  යන දෙදින ද පැවැත්වේ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න