කාන්තාවන් යනු සමස්ත සමාජ ව්‍යුහයෙන් බැහැර කළ නොහැකි ප්‍රධාන කොටස්කාරයින් වන්නා සේම එම සමාජ ව්‍යුහය ද ගොඩ නගන්නා වූ නිර්මාණ ශිල්පිනියන්ය. “ලොව නිර්මාණය වී තිබෙන්නෙ හිරුගේ කිරණින් හා මවගේ කිරිවලින්“යැයි මැක්සිම් ගෝර්කි නම් ශ්‍රේෂ්ඨ ලේඛකයා විටෙක පැවසූවේ ද මේ නිසා වේ.

අප රටේ මවුවරුන්, සොයුරියන්, දියණිවරුන් මෙරට  ආර්ථික, සමාජීය ,සංස්කෘතික කේෂ්ත්‍රයන්හි  විශාල පංගුවකට උර දුන්න ද  අපි සමාජයක් ලෙස  ඇයට  හිමි සමාජ සුරක්ෂිතතාවය, ගෞරවය සහ  නිදහස අත්කර  දීමට තවමත්  අපොසත්ව ඇත්තෙමු.

2025 ජාත්‍යන්තර කාන්තා දිනය සමරන අද දින අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේ අපගේ ආදරණිය සොයුරියන්ගේ ගෞරවණිය බව සුරැකීම වගේම දේශපාලන, ආර්ථික ,සමාජීය හා සංස්කෘතික කේෂ්ත්‍රයන් තුළ ස්ත්‍රී-පුරුෂ සමාජ භාවයෙන් සහ  සමාජ ඒකාකෘතීන්ගෙන් තොර  නිදහසක් කඩිනමින් අත් කරගැනීමයි. මා විශ්වාස කරන පරිදි මේ සදහා අන් කවරදාටත් වඩා  සුවිශාල කාර්ය භාරයක් අපගේ වත්මන් ව්‍යවස්ථාදායක‍ය සතුව ඇත .

එතෙක් පෙබරවාරි 28 දින සැමරී කාන්තා දිනය වෙනුවට, 1917 වසරේ දී  එවකට සෝවියට් රුසියාවේ කාන්තාවන්  තම ඡන්ද අයිතිය දිනා ගැනීමත් සමග මාර්තු 8 දිනය කාන්තාවගේ නිදහස හා අයිතිවාසිකම් පිළිබදව කතා බහ කෙරෙන දිනයක් බවට පත්  වූයේ දේශපාලනය තුළ කාන්තාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනා ගැනීමේ සටනේ එක් ආරම්භයක් සනිටුහන් වීම නිසාය.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා දේශපාලන ඉතිහාසයේ ද නව අවදියක් සනිටුහන් කරන වැඩිම කාන්තා නියෝජනයක් ඇති වත්මන් දසවෙනි පාර්ලිමේන්තුව හරහා  අපගේ ආදරණිය මවුවරුන්ට, සොයුරියන්ට, හා දියණියන්ට වඩා යපහත් ගෞරවණිය සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නව ප්‍රවේශයකින් දායකත්වයක් ලබා දීමේ හැකියාවක් ඇතැයි මම විශ්වාස කරමි.ඒ සදහා අවශ්‍ය ශක්තිය සහ ධෛර්ය ප්‍රාර්ථනා කරමින් අද දින සමරන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනුවෙන් මා ශුභාශිංසන පළ කරන්නේ ඉමහත් සතුටිනි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න