කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාලව සැකකරුවා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්න්තු නිකුත් වී අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ දේපොළ හා වත්කම් තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අන්වර් සදාක් මහතා 25 වෙනිදා නියෝග කළේය.

පොලිස් පරීක්ෂකවරයකු වන සැකකරු අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බවට අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය කළ දැනුම්දීමකට අනුව අධිකරණය මෙම පියවර ගෙන තිබේ.

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගන්නා ලද කිරි ගවයින් විසි දෙනෙකු ඉකුත් වසරේ සැප්තැම්බර් 23  වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එම ගවයින් රජයට අයත් සත්ව ගොවිපලකට භාර දෙන ලෙසට පොළොන්නරුව අධිකරණය වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයට නියෝග කර තිබිණි.

අධිකරණ නියෝග කඩකරමින් එම එළ ගවයින් ජාවාරම්කරුවන්ටම ලබාදී මුදල් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධව වැලි  කන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළ අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් 25 වෙනිදා ඔහුගේ සියලු වත්කම් හා දේපල තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අන්සර් සදාක් මහතා පොලිසියට නියෝග කලේය.

මෙම සිද්ධිය සම්බන්ධ අධිකරණයට නිර්නාමික ලිපියක් ලැබී තිබෙන අතර ඒ අනුව එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් පොලිස්පතිවරයාට නියෝග කර තිබූ අතර පොලිස්පතිවරයා එම විමර්ශනය අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදී තිබිණි.

එවැනි පසුබිමක සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු, පොලිසිය පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කල අතර ප්‍රධාන සැකකරු වන වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි විය.

25 වෙනිදා අදාල නඩුව කැඳවූ අවස්ථාවේදි සැකකාර පොලිස් පරීක්‍ෂවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර සැකකරු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 [1] වගන්තිය යටතේ කටයුතු කිරීමට පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රත්වරයා, වරෙන්තු ලැබ සිටින පොලිස් පරීක්ෂකවරයාට අයත්  සියලු නිශ්චල සහ චංචල දේපල තහනම් කර අධිකරණයට භාරගැනීමට නියෝග කර අතර ඔහු ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත පවත්වාගෙන යන සියලු ගිණුම්වල පවතින තැන්පතු මුදල් තහනම් කර අධිකරණයට යොමු කරන ලෙස ශ්‍රි ලංකා මහ බැංකුවට නියෝග කර තිබේ.

එමෙන්ම වරෙන්තුකරුට විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කර අතර අප්‍රේල් 29 වෙනිදා හෝ ඉන් පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද පොලිස් පරීක්‍ෂකවරයාට යලිත් නියෝග නිකුත්කර ඇත.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න