අලි මිනිස් ගැටුම සහ අලි මරණ අවම කරමින් ශ්රී ලංකාවේ අලි සංරක්ෂණ ක්රියාවලිය සඳහා නව රජය විසින් විවිධ කාලීන ක්රියාමාර්ග රැසක් මේ වන විටත් ගෙන ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසීය.
අතර 2025 අයවැය ඔස්සේ ද මේ සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බවද ඒ මහතා කීය.
ඒ අනුව මහජන සහභාගීත්වය තුළින් අලි සංරක්ෂණ ක්රියාවලිය සිදු කිරීම මෙන් ම මිනිස් මරණ බහුල වශයෙන් සිදු වී ඇති ග්රාම නිළධාරී කොට්ඨාස මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීමට කටයුතු ආරම්භ කර ඇති බවද ඔහු ප්රකාශ කළේය.
2025 වසරේ දී ගම්මාන 23ක් හඳුනාගෙන වැඩසටහන් 43ක් ක්රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ද ඒ මහතා පැවසීය.
ගම්මාන මට්ටමින් විදුලි වැට ඉදිකිරීම් සහ මුරපොල ස්ථාපිත කිරීම මගින් සිවිල් ආරක්ෂක භටයන්ගේ දායකත්වයෙන් ගම්මාන වලට අලි පැමිණීම වැළැක්වීමේ ක්රියාමාර්ග ද කඩිනම් පියවර ලෙස හඳුනා ගෙන තිබෙන බවද හෙතෙම ප්රකාශ කළේය.
සාපරාධී ලෙස අලි ඝාතන සිදු කිරීම වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව දැඩි දඩුවම් ලබා දෙන වරදක් වන බැවින් විශේෂයෙන් වෙඩි තබා හෝ හක්කපටස් යොදා ගනිමින් සිදු කරන අලි ඝාතන සඳහා අධිකරණ ක්රියාමාර්ග ගෙන දඩුවම් පැමිණවීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.