ලංකාවේ මාදැල් කර්මාන්තයෙන් දිවි රැක ගන්නා වු පවුල් 40 000 කට සිදු වන අහිතකර බලපෑම් විසදීම ට රජය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය ලෙස්ටර් නෝනිස් පිය නම පැවසූහ.

පියනම එසේ පැවසුවේ  මාදැල් ධීවර කර්මාන්තය ආශ්‍රිත ගැටලු පිළිබඳව සාකච්ඡාවක දී ය. එය පාර්ලිමේන්තු අමාත්‍යංශ රැස්වීම් ශාලාවේ දී පැවත් විණි.

සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය ලෙස්ටර් නෝනිස් පියතුමා මෙසේ ද පැවසූහ.

ලංකාවේ මාදැල් හිමියන් 800 ක් පමණ සිටින අතර එක් මාදැලකින් පවුල් 50 ක් පමණ යැපෙන බවත් ඒ අනුව රට පුරා පවුල් 40 000 ක් මෙම කර්මාන්තය නිසා ජීවිතය රැක ගන්න බව යි.

සුනාමියෙන් පසු මුහුදේ ගැඹුර වැඩි වී ඇති බැවින් අතින් දැල් ඇදීම දුෂ්කර වී ඇති බවත්, එබැවින් වින්ච් භාවිතය අත්‍යවශ්‍ය වී ඇති බවත් උන් වහන්සේ පැහැදි කළේ ය.

වින්ච් තහනම් කිරීම මගින් ධීවර පවුල් දැඩි අපහසුතාවයට පත්වන අතර, ණය වී මිලදී ගත් ට්‍රැක්ටර් සහ වින්ච් හේතුවෙන් ආර්ථික වශයෙන් ද පීඩාවට පත්ව තිබෙනවා.

රටට අවශ්‍ය පෝෂණීය මසුන් සහ දේශීය නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය මසුන් (ඇඹුල් තියල්) ලබා දෙන මාදැල් කර්මාන්තය ආරක්ෂා කරන ලෙසත් ඒ නිසා  මෙම තහනම ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

ධීවර අමාත්‍යාංශය නියෝජනය කරමින් අධ්‍යක්ෂ කේ.එල්.ඩී. අසේල මහතා  මෙසේ පැවසීය.

1984 ධීවර හා ජලජ සම්පත් පනත අනුව මාදැල් ධීවර කර්මාන්තය යාන්ත්‍රික නොවන සාම්ප්‍රදායික ක්‍රමයක් වන බවත් මිනිසුන් විසින් දෑතින් ඇදීමෙන් සිදු විය යුතු බවත්ය. දිස්ත්‍රික්ක කිහිපයක ට්‍රැක්ටර් භාවිත කරන අතර මුලතිව් දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් ට්‍රැක්ටර් භාවිතය සිදු වන බවත් නාවික සැතපුම් 1.5ක සීමාව තුළ මාදැල් ඇදීම සිදු විය යුතු බවත් සම්පත් සංරක්ෂණය සඳහා පවතින නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරීමේ වැදගත් වන බව ද පැවසීය.

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙසේ පැවසීය.

අනාගත පරම්පරාව සඳහා මත්ස්‍ය සම්පත ආරක්ෂා කිරීමේ වගකීම රජය සතුයි.  අතීතයේ සිදු වූ වැරදි ක්‍රියාමාර්ග නැවත සිදු නො කර තිරසාර හා නවීන ධීවර කර්මාන්තයක් කරා රට ගෙනයාම රජයේ අරමුණ වෙනවා.

ධීවර ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට රජය කැපවී සිටින අතර, මේ ගැටලුව සියලු පාර්ශවයන්ගෙන් විමසා බලා විසඳුම් ලබා දෙනවා.  

ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා  මෙසේ පැවසීය.

ලෝකයේ වඩාත් දූෂිත මහා මුහුදු අතර ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයේ සිටින බවත් මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් මගින් සාගර පරිසරය විශාල ලෙස දූෂණය වී තිබෙනවා.

ඩයිනමයිට් තහනම් පන්න ක්‍රම සහ ආලෝක ආකර්ෂණ ධීවර ක්‍රම මගින් මත්ස්‍ය සම්පතට සහ මිනිස් සෞඛ්‍යයට සිදු වන හානිය ඉතාම බරපතලයි.

ධීවර සම්පත ආරක්ෂා කර ගැනීම සහ අනාගතය සඳහා සංරක්ෂණය කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණය ගෙන තිබෙනවා.

වින්ච් භාවිතය නිසා වෙරළ තීරයේ මුහුදු පැළෑටි විනාශ වන බවත් රටක් ලෙස සමස්තයක් ලෙස සිතා නිවැරදි තීරණ ගත යුතු වෙනවා.

කෙටි කාලීන වාසිවලට වඩා දීර්ඝ කාලීන ප්‍රතිලාභ සලකා බලා ධීවරයාගේ ජීවනෝපාය රටේ ආර්ථිකය පෝෂණය සහ සෞඛ්‍ය මට්ටම යන සියලු සාධක සමතුලිත කරමින් තීරණ ගන්නවා.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න