වැව අපේ කම්හලයි  වැඩසටහන යටතේ ජලාශවල මත්ස්‍ය පැටවුන් මිලියන 18ක් තැන්පත් කිරිමේ  නවතම ජල ජීවි සංග්‍රාමයක් දියත් කරන්නට ධීවර අමාතශ්‍යංශය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන “වැව අපේ කම්හලයි” වැඩසටහන යටතේ පසුගිය මාස හතර තුළ දිවයින පුරා පිහිටි කාලීන හා නිත්‍ය ජලාශවල මත්ස්‍ය පැටවුන් මිලියන 18ක් සා ර් ථකව  තැන්පත් කර ඇති බව සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා පැවසීය.

මෙම මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීම සඳහා රුපියල් විසි දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් වැය කර ඇති බව ද ඒ මහතා කීය.

එක් පැටවෙකුගේ සාමාන්‍ය වටිනාකම රුපියල් 12 යි ශත 50 ක් වන බව ද ඒ මහතා කීය.

මෙම පිරිවැයෙන් රුපියල් කෝටි දොළහක් පමණ රජයේ ආයෝජනයක් ලෙස ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් දරනු ලබන අතර ඉතිරි රුපියල් කෝටි දහය ප්‍රදේශයේ ධීවර සමිතිවල සාමාජිකයින්ගේ දායකත්වය පළාත් සභා සහ අනෙකුත් ව්‍යාපෘතිවලින් ලැබුණු ආධාර මත සිදු කර ඇති බව ද හෙතෙම කීය.

“වැව අපේ කම්හලයි” වැඩසටහන යටතේ මේ වන විට දිවයින පුරා තෝරා ගත් නිත්‍ය ජලාශ එක්සිය පහළොවක මිරිදිය ධීවර ප්‍රජාව සමඟ එක්ව සකස් කරන ලද මාසික මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ඔහු කීය.

මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ වැඩසටහන ආරම්භ වී වසරක් ගත වූ පසු එක් ධීවරයෙකුගේ මාසික අවම අස්වැන්න කිලෝග්‍රෑම් 500 දක්වා ඉහළ නැංවීම බවද ඔහු කීය.

එමඟින් ධීවර කා ර් මිකයකුගේ මාසික අවම ආදායම රුපියල් 150,000 ඉක්මවන අතර අගය එකතු කිරීමේ කටයුතු තුළින් පවුලේ කාන්තාවන්ට අවම වශයෙන් රුපියල් පනස් දහස ඉක්මවන මාසික ආදායමක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බව ද ඔහු පැවසීය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ධීවර සමිති සමඟ මූලික සාකච්ඡා පවත්වා ඔවුන්ගේ එකඟතාවය ලබා ගැනීම, කාන්තා කණ්ඩායම් හමු වී ඔවුන්ගේ ගැටලු හඳුනා ගෙන වැඩ සටහන පිළිබඳව දැනුවත් කිරීම, ධීවර සමිතියේ සියලු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් දින පහක සැලසුම්කරණ වැඩසටහනක් පැවැත්වීම, පසුගිය වසර පහක දත්ත විශ්ලේෂණය කර අපේක්ෂිත අස්වැන්න සඳහා මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීමේ සැලැස්ම සැකසීම, මූල්‍ය ප්‍රවාහ සැලැස්ම සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ දී මතු විය හැකි ගැටලු හා ඒවාට විසඳුම් සාකච්ඡා කර නීතිරීති පද්ධතියක් සම්මත කර ගැනීම ආදී පියවර රැසක් ඇතුළත් බව ද ඔහු කීය.

වැඩසටහන ජාතික මට්ටමින් මිරිදිය ධීවර කර්මාන්තයේ ප්‍රබෝධයක් ඇති කරනු ඇතැයි ද ධීවර ප්‍රජාවගේ ආර් ථිකය ව ර් ධ නයටත්, රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, පෝෂණ ඌනතාවයන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ උත්සාහයටත් එය මහත් පිටිවහලක් වනු ඇතැයි ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති  කිත්සිරි ධ ර් ම ප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න