මෙහෙයුමට දායකවී සිටින සැමට අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගෙන් පැසසුම්.
බිම්වෙඩි පිළිබඳ දැනුවත්භාවය හා බිම්වෙඩි සඳහා ක්‍රියාකාරී ජාත්‍යන්තර දිනය අප්‍රේල් මාසයේ හතරවනදාට යෙදී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2005 වසරේ අප්‍රේල් මස 04 වනදා මෙම දිනය නිර්මාණය කරනු ලැබුවා. 2025 වසරේ තේමාව “සුරක්ෂිත අනාගතයේ ආරම්භය මෙතනයි”.
2009 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක වාර්ගික යුද්ධය නිමා වුවද යුධ සමයේ වැළලු බිම් වෙඩි වෙනත් පුපුරන ද්‍රව්‍ය නිසා තවදුරටත් උතුර හා උතුරු මැද පළාත් වල ජීවත් වන ජනතාව අනතුරුදායක තත්ත්වයක සිටින යුගයක 2025 අප්‍රේල් මස 04 වනදාටත් සැමරෙන මෙම දිනය ගැන බොහෝ දෙනෙකු නොදන්නා අප්‍රකට තොරතුරු රාශියක් තිබෙනවා.
ඕනෑම රටක සිවිල් යුද්ධයක් අවසානයේ ප්‍රථමයෙන්ම සිදු කළයුතු කාර්යය වන්නේ බිම් වෙඩි හෙවත් බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. 2002 සිට 2004 දක්වා වූ දෙවසර තුළ එවකට පැවති ශ්‍රී ලංකා රජය එල්.ටි.ටි.ඊ ත්රස්තවාදීන් සමඟ ඇති කරගත් සටන් විරාමයේදී බිම් වෙඩි ඉවත් කිරීම් මෙහෙයුම ආරම්භ කර තිබෙනවා. එල්.ටි.ටි.ඊ ත්රස්තවාදීන් ඔවුන්ගේ අභිමතය මත පිහිටුවා ගත් සුදු පරවියෝ නැමැති සංවිධානය මඟින් උතුරු ප්‍රදේශයේ බිම් වෙඩි ඉවත් කිරීම සිදුකර තිබෙනවා. එම කාලය තුළ ශ්‍රී ලංකා යුධ හමුදාව අත්පත් කරගත් ප්‍රදේශ වල අන්තර්ජාතික බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවිධානය මඟින් බිම් වෙඩි ඉවත් කිරීම අරඹා තිබෙනවා. එම ක්‍රියාවලියට අනතුරුදායක ප්‍රදේශයන්හි ජීවිත ආරක්ෂක සංවිධානය (Halo Trust) හා බිම් වෙඩි උපදේශක සමූහය (MAG) සිය දායකත්වය ලබා දී තිබේ. ජපාන ජාත්‍යාන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) ඇතුළු තවත් සංවිධාන දෙකක්ද පහසුකම් ලබා දුන් ආයතන වනවා.
සටන් විරාමය බිඳවැටී සිව්වන ඊලාම් යුද්ධය ආරම්භ වීමත් සමඟ බිම් වෙඩි ඉවත් කිරීමේ ක්‍රියාවලිය ඇන හිටියද, යුධ හමුදාව විසින් අත්පත් කරගත් ප්‍රදේශ වල එය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇත.
2009 වසරේ සිවිල් යුද්ධය අවසන් වීමත් සමඟ නැවතත් බිම් වෙඩි ඉවත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින්.
අනතුරුව 2010 වසරේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමත වූ පනතක් මඟින් බිම් වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය නමින් ව්‍යවස්ථාපිත ආයතනයක් ඇරඹුනා. මෙම ආයතනය නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය යටතට පත්කළ අතර එහි අධීක්ෂණය සහ ක්‍රියාකාරීත්වය අමාත්‍යාංශය මඟින් සිදු කරනවා. මෙහිදී දේශීය මෙන්ම විදේශීය සංවිධාන කිහිපයක්ද මූල්‍ය දායකත්වය හා පහසුකම් සපයමින් මෙම ක්‍රියාවලියට එක් වී සිටිනවා.
තවත් පාර්ශ්වයක් ලෙස බිම් වෙඩි ඉවත් කිරීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා යුධ හමුදාවද සම්බන්ධ වී සිටිනවා. මෙම පාර්ශ්වයට ප්‍රතිපාදන සපයන්නේ ශ්‍රී ලංකා රජයයි. මෙම කාර්යයේදී නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය වගකීම් රාශියක් ඉටු කිරීමට බැඳී සිටිනවා. මහජනතාවගේ ජීවත් වීමේ අවශ්‍යතාවය අනුව බිම් වෙඩි හා පුපුරන ද්‍රව්‍ය ඉවත් කරන ප්‍රදේශ වල නැවත පදිංචි කිරීමට පහසුකම් සපයා දීම ප්‍රධාන වගකීමක්. ඒ නිසා මේ ක්‍රියාවලියේදී ජීවත සුරක්ෂිතතාව තහවුරු කරමින් පිවිසුම් මාර්ග, රෝහල්, වගා බිම් හා අනෙකුත් යටිතල පහසුකම්ද සැපයීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුය.
මෙතෙක් බිම් වෙඩි ඉවත් කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම 2645 ක් පමණ ශ්‍රම බලකායක් සහභාගී වී සිටින අතර ඔවුන්ගේ වැටුප් හා පහසුකම් ලබා දීම සහයෝගිතාව දක්වන සංවිධාන හා රටවල් වල මූල්‍ය ආධාර වලින් සිදු කෙරෙනවා.
යුධ හමුදා සෙබලුන් සමඟ මෙම ශ්‍රම බලකාය මේ වන විට පුද්ගල නාශක බිම් වෙඩි 929000 කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර ඇත. පුපුරා නොගිය ස්ථාන 157084 ක් විනාශ කර තිබේ.
යුද්ධ ටැංකි නාශක බෝම්බ 2256 ක්ද සුළු අවි පතොරම් 1272110 ක්ද සොයාගෙන තිබෙනවා. මෙතෙක් පුපුරන ද්‍රව්‍ය ඉවත් කර ආරක්ෂාව සුරක්ෂිත කරන ලද භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1308 ක්. තවත් වර්ග කිලෝමීටර් 22 කට ආසන්න භූමි ප්‍රමාණයක බිම් වෙඩි ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිදුකළ යුතු වෙනවා.
බිම් වෙඩි අනතුරු වලින් 2002 වසරේදී ජීවිත හානි 252 ක් සිදු වූවද මෙම ක්‍රියාන්විතය සමඟ 2024 වන විට ජීවිත හානි 5 ක් දක්වා එය අඩු වී තිබෙනවා. මෙම ක්‍රියාදාමය සමඟ අවතැන් වූ 917984 ක් පමණ ජනතාවක් එම ප්‍රදේශ වල නැවත පදිංචි කරවීමට හැකි වී තිබෙනවා.
ජාත්‍යාන්තර නිරායුධකරණය සඳහා රටේ කැපවීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව 2017 වසරේදී පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ සම්මුතියට අත්සන් තැබුවා. එම නියාමනයන්ට අදාළව 2028 වසරේදී බිම් වෙඩි ඉවත් කිරීම අවසන් කළ යුතුයි. කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ මූල්‍යාධාර යම් ප්‍රමාණයක් අඩුවී ගියද පරිත්‍යාගශීලී රටවල් හා සංවිධාන ගෙවුන වසර ගණනාවකට ඇමරිකන් ඩොලර් මිලියන 250 කට අධික මුදල් ප්‍රමාණයක් ලබා දීම ඇගයීමටත් ප්‍රශංසාවටත් ලක්කළ යුතු කරුණක්.
පසුගියදා ජිනීවා මානුෂීය බිම් වෙඩි ඉවත් කිරීමේ සංවිධානයේ විශේෂඥවරියක් වන ඕසා මැසිල්බර්ග් මහත්මිය නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යය අනුර කරුණාතිලක මහතා හමුවූවා. ඒ බත්තරමුල්ල සෙත්සිරිපාය අමාත්‍යාංශ කාර්යාලයේදී.
අමාත්‍යවරයා බිම් වෙඩි ඉවත් කිරීමේ ක්‍රියාවලියට මූල්‍ය ආධාර සපයන යුරෝපයේ ඇතුලු විදේශීය රටවල් හා සංවිධාන වලට ස්තූතිය පුද කරනු ලැබුවා. එමෙන්ම 2028 වසරේදී මෙම ව්‍යාපෘතිය අවසන් කර ජනතාව සියලු පහසුකම් සහිතව පදිංචි කරවීමට රජය අඛණ්ඩව කටයුතු කරන බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියා. ඕසා මැසිල්බර්ග් මහත්මිය බිම් වෙඩි ඉවත් කළ ප්‍රදේශ වල භූමිය ඒවායේ මුල් පදිංචිකරුවන්ට ලබා දීම හා පොදු භූමීන් ජනතාවගේ ප්‍රයෝජනයට මුදා හැරීම ගැන අමාත්‍යවරයාට සිය කෘතඥතාව පල කරනු ලැබුවා.
සිවිල් යුද්ධය පැවැති ප්‍රදේශ වල ජනතාවගේ ආරක්ෂාව හා ජීවත්වීමේ අයිතිය ලබාදෙමින්, මෙතෙක් සිදුකළ සේවා ඇගයීමට ලක්කරමින් අප්‍රේල් මස හතරවනදා (04) වැලිඔය ඇතාවැටුනු වැව මධ්‍ය මහා විදුහලේදී විශේෂ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සම්පාදනය වී තිබෙනවා. එය සංවිධානය කරනු ලබන්නේ බිම් වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානයයි.
බිම් වෙඩි ඉවත් කිරීමේ ක්‍රියාවලිය හා අවදානමද, රජය හා සිවිල් සංවිධාන සිදුකරන කැපවීම ගැනද පාසැල් ළමුන් දැනුවත් කිරීම එදින වැඩසටහනේ මුල් පියවරයි. යුධ හමුදා ඉංජිනේරු බලකාය බිම් වෙඩි හා ඒවා හඳුනාගැනීමට අවශ්‍ය මඟ පෙන්වමින් ප්‍රදර්ශන කුටිද, වීදි නාට්‍ය සංදර්ශනද පස්වරු 03 දක්වා පවත්වනවා. තවත් විශේෂත්වයක් වනුයේ ජාත්‍යන්තර දිනය සමරා පාසැල් ළමුන් අතර පැවැත්වෙන චිත්‍ර තරඟාවලියේ සමාරම්භය පැවැත්වීමයි. මෙම අවස්ථාවට මූල්‍ය ආධාර සපයන දෙස් විදෙස් සිවිල් සංවිධාන වල නිලධාරීන් හා මුලතිව් දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ වැලිඔය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගී වනවා.