යාපනය තයිඩ්ඩි ප්‍රදේශයේ පිහිටා ඇති “තිස්ස විහාරය” සම්බන්ධයෙන් ප්‍රදේශයේ දෙමළ ජනතාව හා විහාරය අතර ප්‍රශ්නයක් පැන නැගී ඇත. මෙම ප්‍රශ්නය සදහා ජාතිවාදී ස්වරුපයක් දීම සදහා ඇතමුන් උත්සහ කරමින් සිටි. ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයීය පනතේ ප්‍රධාන කාර්යභාරයක් වන “විවිධ ප්‍රජාවන් තුල සහ ඔවුන් අතර, ආතතීන් සහ ගැටුම් ඇතිකරනු ලබන කාරනා විසදීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග රජය වෙත නිර්දේශ කිරීම” අනුව මෙම ගැටලුව පිළිබඳ සොයා බැලීම සදහා සභාපතිතුමා ඇතුළු නිලධාරි මණ්ඩලය මෙම ප්‍රදේශයේ සංචාර කිහිපයක නිරතවූ අතර අදාළ පාර්ශව සමග සාකච්ඡා පවත්වන ලදී. 

ප්‍රථමයෙන්ම නාග විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ සමග සාකච්ඡා කළ අතර එහිදී ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් උන්වහන්සේ විසින්  යෝජනා ඉදිරිපත් කරන ලදී. දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් සහජීවන සංගමය ප්‍රදේශයේ ආගමික හා ප්‍රජා නායක නායිකාවන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාකර තොරතුරු විශාල ප්‍රමාණයක් ලබාගන්නා ලදී. යාපනය විශ්වවිද්‍යාලයේ සංහිදියා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමා හා සාමාජිකයන්  මේ සම්බන්ධයෙන් සිද්ධි අධ්‍යයනයක් කර සමාජ මාධ්‍යට මුදාහැර තිබුණි. ඒ පිළිබඳව ද අදාල පාර්ශව සමග සාකච්ඡා පවත්වන ලද අතර එමගින් වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කරගන්නා ලදී.

යාපනය දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු නිලධාරින් සමග සාකච්ඡාවේදී එතුමා සදහන් කළේ මේ වන විටත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් රජය දැනුවත්කර ඈති බවත් එහිදී යාපනයේ ඉඩම් අදියර කිහිපයක් යටතේ ජනතාවට නිදහස් කිරීමට කටයුතු කරගෙන යන බවත් ය.

අප විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සදහා තයිඩ්ඩි ප්‍රදේශයට ගොස් ඉඩම් අයිතිවාසිකම් ඉල්ලා සිටින පවුල් 13ක සාමාජිකයන්, තිස්ස  විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේ, දායක සභාව හා මේ සම්බන්දයෙන් උනන්දුවක් දක්වන බෞද්ධ සංවිධාන කිහිපයක නියෝජිතයින් හමුවී ඔවුන්ගේ යෝජනා පිලිබදව විමර්ශනයක් සිදුකරන ලදී. ඉන් පසුව අප ආයතනය මේ සම්බන්දයෙන් අදාළ සියලුම පාර්ශවයන් යාපනය නාගවිහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත කැදවා අප්‍රේල් මස මුල් සතිය තුල සමථකරණ වැඩසටහනක් පවත්වන ලදී.

මෙහිදී මතුවූ සියලු කාරණා මත මෙම ක්‍රියාවලිය විධිමත් කිරිම සම්බන්ධයෙන් ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලය, පහසුකරණය (Facilitate) සිදුකර මේ පිලිබදව  සකස්කරන ලද විශ්ලේෂණාත්මක හා අප ආයතනය මගින් කරන නිර්දේශ ඇතුලත් වාර්තාවක් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය තුමා වෙත මේ වනවිට ලබාදී ඇත.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශය මගින් එම නිර්දේශ සම්බන්දව කඩිනම් පියවර ගනිමින් සිටි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න