කොළඹ ජාතික රෝහලෙහි තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය (PAC System) සති 2 ක සිට බිඳ වැටිලා ඇති බවත් සීටී (CT) හා එම්.ආර්.අයි (MRI) පරීක්ෂණ සදහා දින ලබාදීම නවතා දමා ඇති බව ලේකම් පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක  චානක ධර්මවික්‍රම මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා මෙසේ ද කීය.

මීට වසර කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකා ජාතික රෝහලේ තොරතුරු ජාලගත කිරීමේ පද්ධතියක් ස්ථාපනය කළ අතර එම පද්ධතිය ස්ථාපනය කිරීමෙන් අනතුරුව සිදු කරන විකිරණ පරීක්ෂණ(CT,MRI) ඇතුළු රෝග විනිශ්චය සේවාවට අදාළ සියලු විකිරණ පරීක්ෂණයන්හි ඡායාරූප සහ තොරතුරු එම පද්ධතියට එකතු කිරීම සිදුකර ඇති බවද ඒ මහතා සඳහන් කළේ ය.

මෙම පද්ධතිය ස්ථාපනය කිරීමට පෙර සිදු කරන විකිරණ පරීක්ෂණයන්හි ඡායාරූප විකිරණ ඡායාපටල මත මුද්‍රණය කොට ලබා දීම සිදු කරන ලද බව ද ඔහු කීය. 

මෙම පද්ධතිය ස්ථාපනය කිරීම මගින් තොරතුරු ඩිජිටල්කරණයට ලක් කිරීම ඡායා පටල සඳහා වැය වන ඉතා විශාල වියදම නවතා ගැනීම වැනි මූලික කරුණු අපේක්ෂා කළ අතර ලෝකයේ බොහෝමයක් රටවල් මෙම පද්ධතිය භාවිතා කිරීම මගින් රෝහල්වල කටයුතු කාර්යක්ෂම කර ගැනීම සිදු කර ඇති බව ද  ඔහු පැවසීය.

ජාත්‍යන්තර තත්ත්වය එසේ උවත් මෙම පද්ධතිය නිර්මාණය කරන මුල් අවධියේ සිටම එම කටයුත්ත කිසිදු විනිවිදභාවයකින් තොරව පවත්වා ගැනීම වෘත්තික කණ්ඩායම් ලෙස අප නිතර ප්‍රශ්න කරන ලද බවද හෙතෙම කීය.

මේ පිළිබඳව දැක්වූ විරෝධතාවයන් එවකට සිටි පාලකයන් කිසිදුු අයුරකින් පිලි නොගත් අතර තමන්ට අවශ්‍ය කණ්ඩායම් යොදවා ගනිමින් සුදුසු කම්ලත් අත්‍යවශ්‍ය වෘත්තික කණ්ඩායම් මග හැර පද්ධතිය ස්ථාපනය කිරීම සිදු කර ඇති බව ද ඔහු චෝදනා කළේ ය.

දැනට සති දෙකක කාලයක සිට මෙම පද්ධතිය සේවා සැපයීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර එයට හේතුව වශයෙන් හෙළිවන්නේ අදාළ සමාගමට ගෙවිය යුතු මුදල් පැහැර හැරීම සහ තොරතුරු පද්ධතියේ ජාලයේ දත්ත ගබඩාව සම්පූර්ණයෙන් පිරී පැවතීම බව ද ඔහු කීය.

ඉතා විශාල වියදමක් මූලිකව වය කොටසස හා වාර්ෂිකව නඩත්තුව සඳහා ඉහළ වියදමක් දැරීමට සිදුවී ඇති මෙම පද්ධතිය මේ වන විට සුදු අලියෙක් වී ඇති බව පෙනෙන්නට ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.

අද වන විට රෝගීන්ගේ (CT සහ MRI) පරීක්ෂණ සිදු කිරීම සඳහා දින ලබා දීම නවතා දමා ඇති අතර රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව ද ඒ මහතා කීය.

කෙසේ නමුත් පවතින තත්ත්වය හමුවේ රෝගීන්ගේ පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කිරීමට පෙර පැරදිම හැකියාව පවතින අතර ඒ සඳහා සෞඛ්‍ය ඇමතිවරයා,ලේකම්වරයා හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මැදිහත් වී අවශ්‍ය පාර්ශ්වයන් කැඳවන ලෙස පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ඉල්ලා න බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න