ලංකාව ඉන්දියාවට පාවා දෙන තීන්දුව වහාම නතර කර අපේ මව්බිම නිසි මඟට ගමන් කරවන දෙවන පරපුර දේශපාලන පක්ෂය සමඟ එක් වන්නට ජනපති ප්රමුඛ පාක්ෂිකයන්ට ආරාධනා කරන බව දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පැවසීය.
ලෝක කම්කරු දිනයට සමගාමීව දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය විසින් “ඉන්දු-ලංකා යටත් වීමේ ගිවිසුම්: පාවා දීමේ තරම සහ අවසන් ප්‍රතිඵලය” මැයෙන් සංවිධානය කළ මැයි දින විශේෂ දේශනයක දී ඒ මහතා එසේ පැවසීය.
(01) කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවක මණ්ඩල ශ්‍රාවණාගාරයේ දී මෙම දේශනය පැවත් විණි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
ඉන්දියාවේ ආධිපත්‍යයට යටත්වෙන ගිවිසුම් අත්සන් කරන්න වර්තමාන ජනාධිපතිවරයාට ජන වරමකුත් නෑ. ඒ සඳහා ඓතිහාසිකව කිසිම උරුමයකුත් ඇත්තේ නෑ.
ඉතිහාසයේ හැමදාම ඉන්දියාව සිදු කළේ අපේ රටට හිතවත් කම් මිතුරු කම් පෙන්වමින් රට යටත් කර ගෙන අපේ සම්පත් කොල්ල කෑම යි.
එදා සිට ම ඉන්දියාව කටයුතු කළේ මිතුරු වෙස් ගෙන අපේ රට ආක්‍රමණයක් සිදු කිරීමයි. ජනාධිපති අනුර කුමාර ඉන්දියාවට ගොස් මෝදි එක්ක හාද වෙලා ආලවට්ටම් පා මේ කර ගෙන යන්නේ යළිත් ඒ ආක්‍රමණිකයාට රට පාවා දීමට යි.
අනුර ඉන්දියාවට ගිහින් මෝදි මෙහෙ ඇවිත් දෙන්නා අතර හොර රහසේ ගහපු ගිවිසුම් රටේ ජනතාව දන්නේ නෑ. ඒ අතරේ කර්මාන්ත ඇමති තව ගිවිසුමක් ගහලා ඒකත් හොර ගිවිසුමක් මේ ගිවිසුම් හරහා කරන්නේ මෝදිගේ චණ්ඩාශෝක ප්‍රතිපත්තිය නැවතත් පණ ගන්වා මේ රට යටත් ප්‍රාන්තයක් කිරීමයි. මේ අනතුර මගේ පියා රෝහණ විජේවීර හැට දසකයේ අවසන් කාලයේ පැහැදිලිවම දැක්කා.
ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව සටන් කළ පක්ෂයක් ඉන්දියානු ආක්‍රමණිකයන්ට එරෙහිව කටයුතු කළ පක්ෂයක් අද අවදානම් පාරකට ඇඳගෙන යනවා.
දෙවැනි පරපුර ඉදිරිපත් වන්නේ මේ අවදානම අවබෝධ කර ගෙන මේ මාතෘ භූමියේ ස්වාධිපත්‍යය නැවත ස්ථාපිත කර ආරක්ෂා කරන්න යි.
අපේ ආර්ථිකය සංස්කෘතිය අද මේවා සියල්ලම විනාශ කරලා. මේ විනාශය ආරම්හ කළේ ජේ.ආර්. ජයවර්ධනයි. ඔහු අප රටේ මානව සම්බන්ධතා හැදියාව සම්පුර්ණ යෙන්ම විනාශ කළා. වත්මත් ආණ්ඩුවේ අය ඒ විනාශයට ගමන් කරමින් සිටිනවා. මේ මගින් සිදු වන්නේ මහා බරපතළ විනාශයක් බව පෙන්වා දිය හැකි යි.
ඔවුන් 77 න් පසුව බිහි වු පරපුරේ දරුවෝ,රට කරවන පාලකයන්ට ඔවුන්ට අද මුල අමතක වෙලා. අන්දමන්ද වෙලා ගමන් කරනවා. මේ අය ගමන් කරන්නේ වැරදි මාවතකයි.
ඒ නිසා අප මේ ආණ්ඩුව ගමන් කරන වැරදි මාවත වෙනස් කරන්නට පියවර ගන්නවා. දෙවන පරපුර ඒ ජව සම්පන්න බල වේගය ගොඩ නගනවා. අද ලෝක කම්කරු දිනයේ දී අප ජනතාව ඉදිරියේ ප්‍රතිඥාවක් දෙනවා. රට ගොඩ නගන දැවැන්ත බලවේගය මේ රටේ ඇති කරන බවට අපි ජනතාව ඉදිරියේ දී සපථ කරනවා.
අප වග කීමෙන් යුතු ව ප්‍රකාශ කරනවා අපි යන ගමනට අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ මැති ඇමතිවරු ඇතුළු සියලු දෙනාට ම අප සමඟ එක් වන්නට ආරාධනා කරනවා.
ජාතික වශයෙන් කවුරුත් වාම කඳවරු එකතු කරපු සැබෑ කඳවුරක් ගොඩ නගලා රටේ ආර්ථික ස්වාධිපත්‍යය යළි තහවුරු කරනවා.
අප රට සතු ගොඩ බිමේ හා මුහුණු පතුලේ තියෙන සම්පත් අසල් වැසි ඉන්දියාව ඩැහැ ගන්නට උපාය යොදනවා. එය වැළැක්විය යුතුයි.
අන්න ඒ අනතුර අපි දකිනවා. ආණ්ඩුව මුළාවෙලා. අසල්වැසි ඉන්දියාවට අහුවෙලා. ජනතා විමුත්ති පෙරමුණේ ළෙන්ගතුකම ඇති අයට අපි පණිවිඩයක් දෙනවා. මේ රැවටීමට මුළා නොවී අපේ පක්ෂය සමඟ එක්වන්ට ආරාධනා කරන බව ද ඒ මහතා පැවසීය.
මෙම අවස්ථාවට සහභාගි වූ ප්‍රවීණ මධ්‍යවේදී ධර්ම ශ්‍රි වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් ද කතා කළහ.
දෙවන පරපුර පක්ෂයේ ක්‍රියාකාරි සමාජිකයන් රැසක් මෙම අවස්ථාවට එක් ව සිටිය හ.