ලංකාවේ 2025-2035 දස අවුරුදු ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කරන්නට පියවර ගෙන තිබේ.
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි වසර දහය (2026- 2035) සදහා ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සදහා සෞඛ්‍ය අංශයේ මෙන්ම අනෙකුත් අංශවල විද්වතුන්ගේ විද්වත් අදහස් ලබා ගැනීමේ අරමුණින් විශේෂ විද්වත් කතිකාවතක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ දී පැවැතිවිණි.
මෙරට ජනතාවට ගුණාත්මක ඵලදායි හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීම මෙන්ම ඉදිරි දස වසරක කාලයේ මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් විය යුතු ආකාරය පිළිබඳව ද මෙම විද්වත් කතිකාවේ දී පුළුල්ව සලකා බැලීමට ද නියමිත ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සැලසුම් අංශයේ ප්‍රතිපත්ති විශ්ලේෂණ සහ සම්පාදන ඒකකය මගින් මෙම නව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සිදු කරන අතර, නිවාරණ සේවා, රෝග නිවාරණ සේවා, පුනරුත්ථාපන සේවා, සෞඛ්‍ය පරිපාලනය සහ සෞඛ්‍ය මානව සම්පත් ඇතුළු සියලු අංශයන් ආවරණය වන පරිදි ඉදිරි වසර දහය සඳහා යෝජිත මෙම නව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමට නියමිත ය.
අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන මෙම නව ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ කාර්යයේ දී අවශ්‍ය නායකත්වය මඟ පෙන්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රමුඛ විද්වත් කමිටුවක් විසින් ලබා දෙනු ලබයි.
මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පෙන්වා දෙන ලද්දේ 2025 වසරේ සිට 2035 වසර දක්වා වු ඉදිරි වසර 10 සදහා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය පිළිබඳ සැලසුම් කිරීමට අදාළ ව මුලික විද්වත් කතිකා අද දින සිදු කරන බවත්, එහිදී සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රතිපත්ති, වැඩපිළිවෙල, ඉලක්කයන් කෙසේ සකස් විය යුතු ද යන්න සාකච්ඡාවට බදුන්වන බව ද පැවසීය.



