ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකියි 6 වසර සමාජ අධ්‍යයනයට මා පළමු වරට ඉගෙන ගත්තෙමි. ඉන් පසු සාමාන්‍ය පෙළටද, උසස් පෙළ ආර්ථික විද්‍යාවටද, ප්‍රථම උපාධියටද, පශ්චාද්, උපාධියටද අවසන් වශයෙන් ඉන් වසර 30 කට පසුව ආචාර්ය උපාධියට ද ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි කියා ලීවෙමි.
මා ඉගැන්වීමට පටන්ගත්තේ වයස අවු 19 දීය. පුරා වසර 35 ක්, අඩුතරමින් සරසවි සිසුන් 20,000 කට, උසස් පෙළ සිසුන් 250,000 කට , උසස් පෙළ ගුරුවරු 3500 කට, ප්‍රාදේශීය ලේකම්වරු, බදු නිලධාරින් , බැංකු කරුවන් ඇතුළු වෘත්තිකයන් 1500 කට, විදේශීය සිසුන් 12,000 වඩා මම ආර්ථික විද්‍යාව උගන්වා ඇත්තෙමි. ඒ සියලු දෙනාටම මා ඉගැවූයේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියා ය. ඕක සංවර්ධනය වෙලා ඉවරවෙන්නේ කවදා දැයි, අහන්නට උන්ටවත් මටවත් මතක් වූයේ නැත. එහෙත් දැං මට උගන්වන්නට සිදුව ඇත්තේ ශ්‍රී ලංකාව වනාහී බංකොලොත් රටකි යනුවෙනි. ශ්‍රි ලංකාව බංකොලොත් වූ නොව බංකොලොත් කළ රටක් බව උන්ට කියා දීමට කාලය පැමිණ ඇත.
88/89 සමයේ මා ඉගෙන ගත්තේ 9 පන්තියේ ය. එදා ස්මාර්ට් පෝන් නොතිබුණා සේම සමාජ මාධ්‍ය ද තිබුණේ නැත. තිබුණේ ආණ්ඩුවේ හොරණෑ දෙක පමණි. එබැවින් ඒ අඳුරු අතීතයේ ඉතිහාසය බවට පත්වූයේ ආණ්ඩුවේ වුවමනාවට පොත්වල ලියා තිබූ දෑය. JR, රනිල් වික්‍රමසිංහ , ප්‍රේමදාස , රන්ජන් විජේරත්න විසින් උඩුගම්පොළ යොදාගෙන මෙහෙය වූ රාජ්‍ය භීෂණය අපි සියැසින් දැක්කෙමු. ගමේ පාසලේ ලස්සනට ම ඉගැන්න්වූ හාමුදුරුවෝ ටයර් සෑයක දැවෙන හැටි, අල්ලපු ගමේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයා, ( ගුරුවරු ඔහු ශිෂ්‍ය නායකයා කළ පවට) වෙඩි තබා ඝාතනය කරනු දුටුවෙමි. ටයර් සෑයවල් 7-8 ක් පහු කරගෙන උදේට පාසැල් ගියෙමි. ගම්පෙරළිය නවකතාව ළඟ තබාගත් වරදට තරුණයින් කුදලාගෙන යන අයුරු දුටුවෙමි. ග්‍රාම සේවක ගෝනිය ඇතුලේ බහා කඩ මණ්ඩියට ගෙනා ගෝනි බිල්ලා ඌට එදිරිවාදී කම් කළ උන්ට ඔලුව වැනූ කල හමුදාවෙන් කුදලාගෙන යන අයුරු දුටුවෙමි. බල්ලෙක් බුරන හැම රාත්‍රියකම තේ ඉඩමක සැඟව සිටියෙමි. ඒ JVP යනු කුමක්දැයි අසාවත් තිබූ නිසා නොව, පාසැලේ ශිෂ්‍ය නායකයෙකු වූ වරදට ජීවිතය ගැන ඇති වූ බිය නිසාය. ඒ පාලකයින්ම අවු 47 ක් රට පාලනය කරනු නිහඬව බලා සිටියෙමි.
වසර 35 කට අධ්ක කාලයක් රටේ සියලු ආර්ථික දත්ත පරිශිලනය කළෙමි. පාලකයින්ගේ වංචාව, දූෂණය නාස්තිය, අකාර්යක්ෂමතාව දත්ත සහිතව අවබෝධ කරගතිමි.
මේ රට බංකොලොත් වන තෙක්ම මේ රට අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති වැරදි බව පාලකයින් ට කීවෙමි. ලිපි 50 කට වඩා පුවත්පත් වල ලීවෙමි. ප්‍රසිද්ධ මාධ්‍ය වල කීවෙමි.මහ බැංකුවට ගොස් තර්ක කළෙමි. පලක් වූයේ නැත.2023 ජූලි මාසය වනවිට ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මෙරට මුහුණ දෙන බව කල් තබා කීවෙමි. එහෙත් උන් කළේ උන්ට ඔනෑ දේය. රටට නොව උන්ට වඩා වාසිදායක දේය.
තව දුරටත් උන්ට නොකියමි. තීරණ ගැනීම අප අතට ගතයුතු කාලය පැමිණ ඇත.
වසර 28 ක සරසවි දිවියේ කිසිදු දේශපාලන පක්ෂක් වෙනුවෙන් පෙනී නොසිටියෙමි. කිසිඳු සිසුවෙක් සමග දේශපාලනය ගැන කතා නොකළෙමි. (ඒ නිසාම රනිල් වික්‍රමසිංහ බටලන්දේ භාවනානියෝගීව වැඩ සිටි ආකාරයද ඔවුනට කියා දෙන්නට අමතක විය) සියල්ල වෙනස් කර අලුතෙන් පටන් ගත යුතුව ඇත. ඔහුගේ බස අසන්නට එන්න යයි කියන පාලකයෙකු නොව, මගේ බසට සවන්දෙන නායකයෙක් මට වුවමනාය. ඒ වෙනුවෙන් මා මේ තීරණාත්මක මොහොතේ අනුර කුමාර සමග සිට ගනිමි.
නන්දසිරි කීඹියහෙට්ටි 2024-08-16