(01) එතුමා කිසිවිටෙක පක්ෂය හැර දමා ඔහු සමගින් එක්වන ලෙසට අපි කිසිවෙකුට ආරාධනා කර නැත.

(02) තවද එතුමා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග බිමට පිවිස ඇති බැවින් අප පක්ෂයේ අනන්‍යතාවය රැකගෙන ඔහුට උදව් කිරීමේ කිසිදු බාධාවක් නැත.

(03) අප සියළු දෙනා මහජන නියෝජිතයින් වන අතර අප නියෝජනය කරන ප්‍රදේශවල අපගේ ඡන්දදායකයින්ගේ මතය වී ඇත්තේ ද ඉදිරි වසර 05 කාලය ඔහුට බලය ලබා දිය යුතු බවය.

(04) තවද වසර 02 ක් එතුමා සමග එකට කටයුතු කිරීමෙන් ඔහුගේ නායකත්වය පිළිබඳව අපද පැහැදී ඇති අතර ඉදිරි වසර 05 කාලය ඔහුට බලය ලබාදිය යුතු බවට අප විසින් ද තීරණය කර ඇත.

(05) ඒ අනුව අපගේ ඡන්ද දායකයින්ගේ අදහසද, අපගේ මතයද, අපි පක්ෂයේ වගකිවයුත්තන් වෙත අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇත.

(06) එහෙත් අපගේ ඉල්ලීමට හෝ අපගේ චන්ද දායකයින්ගේ හෙවත් පාක්‍ෂිකයින්ගේ අදහසට ඇහුම්කන් නොදී ඊට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ තීරණයකට පක්ෂය විසින් එළැඹ ඇත .

(07) මහජන නියෝජිතයින්වන අපගේ වගකීම වන්නේ අප ඡන්දදායකයාගේ බිම් මට්ටමේ අදහස පක්ෂයේ ඉහළට දැනුම් දීමත්, පක්ෂයේ අදහස ඔවුන් අතරට ගෙනයාමත්ය.

(08) පක්ෂය ගනු ලැබූ තීරණය අප ඔවුන්ට දැනුම් දීමේදී ඔවුන් එක හඬින් කියා සිටියේ එය ඔවුන්ගේ මතය/තීරණය නොවන බවය.

(09) මහජන නියෝජිතයින් වන අපගේ වගකීම වන්නේ අප ඡන්දදායකයාගේ හඬට ඇහුම්කන් දීමය.

(10) ඒ අනුව අප ඡන්ද දායකයාගේ අදහස/තීරණය නියෝජනය කරනු වස් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දීමට තීරණය කර ඇත.

(11) මේ අවස්ථාවේදී පක්ෂයේ වගකිවයුත්තන්ගේ වගකීම වන්නේ ප්‍රමාද වී හෝ මහජන මතයට, හෙවත් බිම් මට්ටමේ පාක්ෂිකයාගේ මතයට ඇහුම්කන් දීමය.

(12) එසේ නොවුවහොත් වගකිවයුත්තන් බලාපොරොත්තු වන පරිදි පක්ෂය කැඩී බිඳී යාම පාලනය කර ගැනීමට ඔවුන්ට නොහැකි වනු ඇත .

(13) එය එසේ වුවහොත් ඒ සඳහා ඉඩ හසර සලසා දුන් සහ/හෝ එසේ වීමට ඉඩ හරින ලද පක්ෂයේ වගකිවයුත්තන් විසින් ම එහි පූර්ණ වගකීම භාරගත යුතුය.

(14) තවද එවැනි තත්ත්වයක් තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මැදිහත්වීමෙන් එතුමා සහ/හෝ ඊට දිහත් වූ කිසිවකු විසින් පොදු ජන පෙරමුණ පක්ෂය කඩා දැමූ බවට කිසිදු චෝදනාවක් එල්ල කිරීමේ සදාචාරාත්මක වගකීමක් ඔවුන් කිසිවෙකුට නැත.

(15) එසේම මහජන මතයට එරෙහිව උඩුගම් බලා පිහිනීමට උත්සාහ කළ බොහෝ පක්ෂවලට ඉතිහාසය පුරා අත් වූ ඉරණම පොදු ජන පෙරමුණට ද අත්වීම නොවැළැක්විය හැකිය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න