සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

රාජ්‍ය හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවයට සහභාගිවීමෙන් අනතුරු ව පළමු ව මල්වතු මහා විහාරය වෙත පැමිණි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේත් ඉන් අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේත්  බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත ව ආශිර්වාද ලබා ගත්තේ ය.

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වර්තමාන දේශපාලන තත්ත්වය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳ ව මහා නා හිමිවරු දැනුවත් කළ අතර,  මහනුවර ජාතික රෝහලේ අතරමඟ නවතා දමා තිබූ ඉදිකිරීම් ව්‍යාපෘති රජයේ මුදල් වෙන් කරමින් නැවත ආරම්භ කිරීමට පියවර ගැනීම පිළිබඳවත්, සෞඛ්‍ය සේවාවේ පැවැති ගැටළු රැසක් අවම කිරීමට ක්‍රමවත් ව කටයුතු සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව ද මහ නා හිමිවරු දැනුවත් කරන ලදි.

වසර 16 කට පසුව මෙරට පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දළදා දැක්ම මංගල්‍යයයේ පෙර සුදානම් කටයුතු මෙන් ම වෙසක්, පොසොන්, ඇසළ උත්සව කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා මහ නාහිමිවරුන් සමග මෙහි දී අදහස් හුවමාරු කර ගනු ලැබීය.

එමෙන් ම ඉදිරි පළාත් පාලන මැතිවරණ කටයුතු, මැතිවරණයෙන් පසු ක්‍රියාත්මක කිරිමට අදහස් කරන රජයේ වැඩපිළිවෙළ මෙන් ම ජනතාවට ලබාදුන් අයවැය ප්‍රතිලාභ, නුවර නඟර සැලසුමේ ඉදිරි පියවරයන් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහි දී කරුණු දැක් වූ අතර, ආරක්ෂක අංශ වල සහ රජයේ සේවක වැටුප් සහ දීමනා ඉහළ නැංවීම පිළිබඳව මෙහි දී අමාත්‍යවරයා මහානායක හිමිවරුන් සමඟ අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, මල්වතු මහානායක හිමියන් ඒ පිළිබඳ ව දැඩි ප්‍රසාදයකින් යුතුව අදහස් ප්‍රකාශ කරන ලදි.

මෙහි දී මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන් පවසන ලද්දේ රජය සැලසුම් සහගත ව විශාල වැඩකොටසක් සිදු කරන බව පෙනී යන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ද විශාල වැඩකොටසක් සිදු කරන බව ද පෙනෙන්න තිබෙන බවත් ය. දීර්ඝ කාලීනව සාකච්ඡා කෙරෙන නුවර නගර සැලැස්ම කඩිනමින් ක්‍රියාත්මක කිරිම මෙන්ම අතර මඟ නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත සක්‍රීය කිරීමට රජය කටයුතු කිරීම පිළිබඳ ව ප්‍රසාදය ද පළ කරන ලදි.

මෙම අවස්ථාවන් සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ආයුර්වේද කොමසාරිස් ආචාර්ය වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්.එස් බණ්ඩාරනායක, ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් යන මහත්වරු ද එක්ව සිටියහ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න