සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ ගැටලුව විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොමැති නිසා දැඩි වෘත්තිය සමිති ක්‍රියා මාර්ග ගැනීමට පියවර ගන්නා බව පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක  සභාපති රවී කුමුදේශ් මහතා මෙසේ ද පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශය අඩුම තරමින් සාකච්ඡා නැත්නම් බ්‍රහස්පතින්දා සිට අරගලයට සුදානම් බව ද හෙතෙම කීය.

සියලුම පාර්ශ්ව ඒකාබද්ධ කර ගෙන දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කරන බව ද ඔහු කීය.

රෝහල් මට්ටමින් උද්ඝෝෂණ සහ කළු පටි විරෝධතා ආරම්භ කිරීමට පළමුව පියවර ගන්නා බ වද ඔහු ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ කීය.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ ගැටලුව විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සාකච්ඡා නෑ. ඇමතිවරයාට දුරකථනයට ප්‍රතිචාරය දක්වීමටවත් වෙලාවක් නෑ.  සෞඛ්‍ය අමාත්‍යාංශයේ විභාග මේණියාවෙන් පෙළෙන නිලධාරීන් කිහිප දෙනෙක් අමාත්‍යාංශය හයි ජැක් කරලා.

සාකච්ඡා නැත්නම් අපි අරගලයට එනවා. බලෙන් විභාග තියන්න ඉඩ දෙන්නේ නෑ. අමාත්‍යාංශය හයියක් කරපු නිලධාරීන් බලෙන් විභාගයක් තියන්න හදනවා. අපි නලින්දට ජයතිස්ස ඇමතිට කියනවා – පුළුවන් නම් එහෙම කරලා බලන්න. බලහත්කාරයෙන් පවත්වන්ට ඔය විභාගය කරන්න කවුරුත් එන්නේ නෑ.

මේ ගැටලුව හිටපු ඇමතිවරයා සහ ලේකම්වරයා විසඳලා ගියේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේකට විසඳුමක් දීලා තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්නවා විභාග තියලා ගසා කන්න බලා ගෙන ඉන්න නිලධාරියෙක්. අවුරුද්දකට දෙපාරක් වෘත්තිකයින් කණ්ඩායම් පහකට දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් විභාග තියමින් අමාත්‍යාංශයෙ මුදල් ගසා කෑමේ වුමණාක් තියන නිළධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශය හයි ජැක් කරලා.

උපාධි කඩවලට විරුද්ධ වෙච්ච නලින්දට වෙන්නේ, රජයේ විශ්වවිද්‍යාල පැත්තකින් දාලා ඒ අයට විතරක් පත්වීම් දෙන එකයි.

රජයේ විශ්වවිද්‍යාලයීය සිසුන් පාරට බැහැලා අරගල කරන්නේ රස්සාවල් ඉල්ලලා නෙමෙයි. ඒ ළමයි අවුරුදු ගානක් එලියේ බලන් ඉන්නේ – උන්ට විශ්වවිද්‍යාලයීය කොමිෂන් සභාවෙන් දීලා තියෙන කුසලතා ලැයිස්තුවට පිටු පාලා,සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන් විසින් සාමාන්‍ය දැනීම තරග විභාගයක් පවත්වන්නට හදන නිසා.

ඒ ළමයි විභාගය වර්ජනය කරනවා කියන කොට සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා විභාගය ලියන පෞද්ගලික විශ්වවිද්‍යාලයීය සිසුන්ව බදවා ගැනීම සිදු කරනවා කියලා.

මේ පිළිබඳ සේවයේ නියුතු උපාධිධාරීන් විදියට අපි ඉතා ඕනෑ කමින් බලා ගෙන ඉන්නවා. යම් හෙයකින් එසේ උව හොත්  ඒ සඳහා රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය විදියට ළමුන් වෙනුවෙන් ඕනෑම සටනකට සහය දීමට අපි සූදානම්.

මේ සම සෞඛ්‍ය සිසුන් ඉහළම කුසලතා පදනම මත තමයි විශ්වවිද්‍යාල වලට ඇතුලත් වෙන්නේ. ඔවුන් වෙනුවෙන් රජය විශාල මුදලක් වැය කරලා තියෙනවා  අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල්. මේ සල්ලි විනාස කරන්න එපා!

නිදහස් අධ්‍යාපනය කියන්නේ අත්තටු කියලා ආපු මේ රජය අන්තිමට අත්තටු දීලා ඒ අයට කියනවා “උබලට පියාබන්න ලයිසන් එකක් ගන්න” කියලා. මේක මහ විහිලුවක් යැයි ද පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක  සභාපති රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න