මදුරුවන් බෝ වියහැකි ස්ථාන සහිත පරිශ්‍ර 31,145ක්..

පරීශ්‍ර 3916 ක් සඳහා රතු නිවේදන ..

පරීශ්‍ර 1470 කට නීති මඟින් ක්‍රියා කිරීම්

මැයි 19 සිට 24 වැනිදා දක්වා ක්‍රියාත්මක වූ විශේෂ මදුරු මර්දන වැඩසටහනෙන් සුවිශාල ප්‍රගතියක්..

නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමඟ ඉදිරි කාලයේ දී තවදුරටත් ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින හෙයින් සතියක විශේෂ මඳුරු මර්දන වැඩසටහනක් කඩිනමින්  ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත මෙය සිදු කළ බවද ඒ මහතා කීය.

මේ අනුව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජාතික ඩෙංගු මර්දන ඒකකය හා එක්ව  විශේෂ  මදුරු මර්දන වැඩසටහනක් පසුගිය මැයි මස 19 වන දින සිට 24 වන දින දක්වා දිස්ත්‍රික්ක 15 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 95 ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන බව ද හෙතෙම කීය.

එම විශේෂ මදුරු මර්දන වැඩසටහනේ දී දිවයින පුරා නිවාස 119,677, පාසල් 257, වෙනත් අධ්‍යාපන ආයතන 304, රජයේ ආයතන 789, පෞද්ගලික ආයතන 5025, ඉදිකිරීම් පරිශ්‍ර 700, කර්මාන්ත ශාලා 195, පොදු ස්ථාන 263, ආගමික සිද්ධස්ථාන 514, අනෙකුත් ස්ථාන 1100 ඇතුළත්ව පරීක්ෂා කළ මුළු පරිශ්‍රයන් ගණන 1 28824 ක් බව ද ඒ මහතා කීය.

මෙහි දී මඳුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 31,145 ක් හඳුනා ගත් අතර මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6077 ද  හඳුනා ගැනීමට හැකි වූ බව ද ලේකම් වරයා ප්‍රකාශ කළේ ය.

මෙහි දී රතු නිවේදන නිකුත් කිරීම් 3916 සිදු කළ අතර පරිශ්‍ර 1470 කට ද නිතී මඟින් ක්‍රියා කිරීමට ද  පියවර ගත බව ද හෙතෙම කීය.

මෙම විශේෂ මඳුරු මර්දන වැඩසටහනේ දී පරිශ්‍ර පරීක්ෂාව, රතු නිවේදන නිකුත් කිරීම, නීති මගින් ක්‍රියා කිරීම, ප්‍රමුඛ කර ගනිමින් කටයුතු කළ අතර රෝග පැතිරීම පාලනය කිරීම, ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම ද මෙහි තවත් අරමුණු වූ බව ද ඔහු කීය.

මෙම වැඩ සටහනෙන් ලබා ගත් ප්‍රගතිය දිගු කාලීනව පවත්වා ගෙන යාම සඳහා තම නිවාස සහ කාර්යාල අවට පරිසරය මදුරුවන් බෝ විය නො හැකි ලෙස පවත්වා ගෙන යන ලෙසත්, අවම වශයෙන් සතියකට එක් දිනක පැයක කාල සීමාවක් හෝ වෙන්කර තම නිවාස , කාර්යාල පරිශ්‍ර  පරීක්ෂා කර  එම ස්ථාන පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙරට ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටි යේ ය.

මෙම මඳුරු මර්දන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, ජාතික සිවිල් ආරක්ෂක බලකාය සහ විවිධ ස්වේච්ඡා සංවිධාන විසින් විශාල සහයෝගයක් සෞඛ්‍ය අංශ වෙත ලබා දුන් බවත් එම සියලු දෙනාටමත් විශේෂයෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයටත්, ස්තූතිය පුදකර සිටින බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න