අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අපනයනය දිරිමත් කර වන ලංකා කෘෂි නවෝදය  පස් අවුරුදු ජාතික සංවර්ධන සැලැස්මක්  ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

ඇමතිවරයා ඒ බව ප්‍රකාශ කළේ පසුගිය දා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දී පැවැති නිලධාරින්ගේ හමුවක දී ය.

තිරසාර කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රවර්ධනය කරන අතරම නිෂ්පාදනය සහ ඵලදායිතාව වැඩි කිරීමෙන් අපනයන කෘෂිකාර්මික බෝගවල අපනයන පරිමාව වැඩි කිරීම අපනයන ප්‍රමාණය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම අගය එකතු කිරීම සහ වෙළඳ පොළ ප්‍රවර්ධන වැඩසටහන් වැඩි කිරීමෙන් අපනයන ආදායම වැඩි කිරීම අපනයන කෘෂිකාර්මික බෝග අංශයේ කොටස්කරුවන්ගේ ධාරිතාව ගොඩනැගීම කෘෂිකාර්මික බෝග අපනයනය සඳහා නීතිමය රාමුව ශක්තිමත් කිරීම වැනි කාරණා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉදිරි වසර පහ ඇතුළත සාක්ෂාත් කර ගත යුතු ඉලක්ක බව ද ඒ මහතා පැවසීය.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අදාළ කාර්යයන් සාර්ථක කර ගැනීමට අමාත්‍යවරයා වශයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ඔහු මෙහි දී සඳහන් කළේ ය.

අයවැය මඟින් වෙන් කර ඇති මුදල් ඵලදායී ලෙස යොදා ගැනීම මෙවර විශාල අභියෝගයක් වන බව ද ඒ මහතා කීය.

දැනටමත් වසරේ මාස 06ක් ගත වී තිබීම නිසා ව්‍යපෘති 03ක් පමණ ක්‍රියාත්මක කර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලු කාර්යයන් ඒ හරහා ආවරණය කර ගත හැකි බව ඒ මහතා සඳහන් කළේ ය.

අයවැය මඟින් වෙන්කර ඇති මුදල් ජනතාව ප්‍රබෝධමත් වන ආකාරයෙන් වැය කළ යුතු බවත් එම මුදල් සමාජය වෙත සම්ප්‍රේෂණය වීම තුළ ආර්ථිකය ප්‍රසාරණය වන බව ද ඒ මහතා කීය.

ඒ තුළින් ආර්ථික වර්ධනය ඉහළ යන බව ද ඒ මහතා කීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න