කොළඹ  අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළ දී පසුගිය පෙබරවාරි මස (19) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමැත්තා ඝාතනය කිරීමට ආධාර අනුබල ලබා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ බූස්ස බන්ධනාගාරයේ ජේලර් මනෝජ් උදයකාන්ත යන අය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා  (30) නියෝග කළේය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර අප දෙකක් මත හා  රුපියල් 75000ක මුදල් ඇප මත මුදා  හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මෙම ඇපනියෝගය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට යොමු කරන ලෙසට අධිකරණ රෙජිස්ටාර්වරයාට නියම කළේය.

මහේස්ත්‍රාත් අධිකරණය මගින්  බන්ධනාගාර ගත කර සිට තමාව ඇප මත මුදාහරණ ලෙසට ඉල්ලා සැකකරු විසින් මහාධිකරණය හමුවේ ගොනුකරන ලද ඇප අයදුම් පත්‍රයක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙලෙස නියෝග නිකුත් කළේය.

මෙම සැකකරු විසින් එම ඝාතනය සම්බන්ධයෙන් කිසිදු අයුරකින් සම්බන්ධ වී ඇති බවට අධිකරණය හමුවේ සාක්ෂි අනාවරණය වී නොමැති බවට නිගමනය කරමින් මෙලෙස ඇපනියෝගය නිකුත් කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න