ගෙවල් 24 ක් බිද දේපොළ සොරකම් කිරීම සම්බන්ධයෙන් වසර 54 ට සිරදඬුවම් නියම කර සිටිය දී යහපත් කල් ක්‍රියාව මත ඉකුත් ජනවාරි 07 වැනිදා පැමිණ කෑගල්ල නගරයේ කුළු බඩු මිලට ගන්නා හා අලෙවි වෙළදසැලක් ඉදිරිපිට තබා තිබුණු රුපියල් 5400 ක් වටිනා පුවක් ගෙඩි 450 ක් බහා තිබුණු ගොනියක් සොරකම් කර ඇතැයි කියන පුද්ගලයෙක් පෙරේදා 02 වැනිදා අත් අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පැවසීය.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ අලපලාවල පදිංචිව සිටින 42 හැවිරිදි දෙලංකාවලගේ ප්‍රදීප සංජීව ජයසිංහ නැමැති එක් දරු පියෙකි.

අත් අඩංගුවට ගෙන ඇති සැකකරු වරින් වර ප්‍රදේශයේ ගෙවල් බිදුම් 24 ක් සිදු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 2009 වර්ෂයේ දී සැකකරු වසර 54 ට බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබුණි. කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටිය දී සිරකරුගේ යහපත් කල් ක්‍රියාව හෙතුවෙන් වසර 54 ට නියම කර තිබුණු දඩුවම 16 දී නිම කර 2025 ජනවාරි 07 වැනිදා නිවස බලා ගොස් තිබුණි.

පසුව සැකකරු පෙරේදා 02 වැනිදා සවස කෑගල්ල කළුගල්ල මාවතේ පිහිටි කුළු බඩු මිලට ගන්නා හා අලෙවි වෙළදසැලක් ඉදිරිපිට තබා තිබුණු පුවක් ගොනි කිහිපයකින් එක් ගොනියක් උස්සාගෙන කරේ තබාගෙන ඉදිරියට ගොස් ඇති බව පොලිසිය පැවසීය. පසුව වෙළදසැලේ සේවකයෙක් පුවක් ගොනියක් අතුරුදන්ව ඇති බවට වෙළදසැල් හිමිකරුට දන්වා ඇති බවත් ඔහු ඉදිරියට ගොස් පුවක් ගොනිය සොයා බලන අවස්ථාවේ දී ගොනියක් කර තබාගෙන එන පුද්ගලයෙක් දැක ඇති බවත් අතුරුදන්ව තිබුණු තම පුවක් ගොනිය බවට වෙළද ව්‍යාපාරිකයා හදුනාගෙන පසුව පුද්ගලයා අල්ලාගෙන කෑගල්ල පෙලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ කෑගල්ල කළුගල්ල මාවතේ වෙළදසැලක් පවත්වාගෙන යන වනිගසේකර මුදියන්සේලාගේ ඉසුරු වනිගසේකර නැමැති ව්‍යාපාරිකයෙකි.

කෑගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මොහොමඩ් අන්වර් නිලධාරින්ගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ලාල් ප්‍රියන්ත අබේරත්න (60469) පොලිස් කොස්තාපල් නුවන් (79808) යන නිලධාරින් කණ්ඩායම ගොස් සැකකරු හා පුවක් ගොනිය අත් අඩංගුවට ගෙන තිබුණි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න