රට පුරා ධීවරයන්ට නව ධීවර රක්ෂණ ක්‍රමවේදයක්  සකස් කරන බව කෘෂි කාර්මික හා ගොවි ජන රක්‍ෂණ මණ්ඩලය සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසීය.

ඒ අනුව ධීවර කර්මාන්තයෙහි නිරත ධීවර ප්‍රජාවට එම රැකියාවේ පවතින අවදානම් සහගත ස්වභාවය හේතුවෙන් ඔවුන්ගේ ජීවිතය වලට සිදු විය හැකි අනතුරු ප්‍රමාණය ඉහළ මට්ටමක පැවතීම නිසා මෙම පියවර ගෙන ගත් බව ද ඒ මහතා පැවසීය.

මේ නිසා නව රජය මේ සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කර ධීවර කාර්මිකයා හා ධීවරයාගේ ජීවන තත්ත්වය ඉහළ නැන්වීම සඳහා මෙම නව රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව ද ඔහු කීය.

මේ වන විටත් කෘෂි කාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය මඟින් විවිධ කෘෂිකාර්මික ක්‍ෂේත්‍ර හා කෘෂි කර්මාන්තයට අදාළ ක්‍ෂේත්‍ර සඳහා රක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වා දී ඇති අතර, ධීවර ජනතාව වෙනු වෙන්ම සුවිශේෂී වූ රක්ෂණ ක්‍රමවේදය මෙය බව ද ඔහු කීය.

ඒ අනුව “1990 අංක 23 දරණ ධීවර විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත” මගින් ධිවර ප්‍රජාව සඳහා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට මණ්ඩලයට පවරා ඇති නෛනෙතික බලතල යටතේ ධීවර ප්‍රජාව සඳහා වාර් ෂිකව සක්‍රිය කළ හැකි පරිදි මෙම හදිසි අනතුරු රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීම මේ අනුව අපේක්ෂා කරන බව ද ඒ මහතා කීය.

මේ මගින් මුහුදු රැකියාවේ නිරත වන අවස්ථා වල දී අයහපත් කාලගුණ තත්ත්වයන් හෝ වෙන යම් ඕනෑම හදිසි අවස්ථාවක දී ධීවරයන්ට සිදු විය හැකි අනතුරු  හා ජීවිත හානි ආදිය තත්ත්වයන්වල දී මෙම රක්ෂණ ක්‍රමවේදය මගින් ඔවුනට ප්‍රතිලාභ සැලසෙන බව කෘෂි කාර්මික හා ගොවි ජන රක්‍ෂණ මණ්ඩලය සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා වැඩිදුරටත් පැවසී ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න