මෙරට ප්‍රධාන වැවිලි භෝග අතරින් තුන්වෙනි තැන තිබෙන තේ වගාවේ අපනයන ප්‍රමාණය කිලෝ ග්‍රැම් මිලියන 266 සිට කිලෝ ග්‍රැම් මිලියන 400 දක්වා ඉහල නැංවීම අරමුණ බවත් තිබෙන ඉඩම් කළමනා කරණය කරගෙන යම් කැපකිරීම් ප්‍රමාණයක් සිදු කලොත් එම ඉලක්කය වෙත යාම අපහසු නොවන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කළේය.

මෙරට තේ වගාව ගුණාත්මක භාවයෙන් යුතු තේ වගාවක් ලෙස ප්‍රවර්ධනය කල යුතු බවත් ඒ සඳහා තේ වගාවට සම්බන්ධ සියළු පාර්ශවවල සහයෝගය අත්‍යාවශ්‍ය බවත් සඳහන් කල අමාත්‍යවරයා තේ කර්මාන්තය ඉහලින්ම ඔසවා තැබීමට ජාතික වශයෙන් සැලැස්මක් අවශ්‍ය බවත් සඳහන් කලේය. තේ කර්මාන්තයට සම්බන්ධ සියළු පාර්ශ්ව ඒකරාශී කර ගනිමින් අඟහරුවාදා (11) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කලේය. අලුත් ප්‍රතිපත්තියට අනුව අපි මේ ජාතික සැලැස්ම හදන්න අවශ්‍යයි. කිලෝ ග්‍රැම් මිලියන 266.68 වන 2025 වර්ෂයේ ඉලක්කගත අපනයන ප්‍රමාණය එම ජාතික සැලැස්මට අනුව කිලෝ ග්‍රැම් මිලියන 400 දක්වා ඉහල නැංවීම අරමුණයි. ඒත් අපි ඒ ඉලක්කය වෙත යන්න අඳුරේ අතපත ගාලා හරියන්නේ නෑ. නිශ්චිත වැඩ පිළිවෙලක් හදාගෙන යන්න ඕනි.
රාජ්‍ය සේවය දුර්වල වීම මේ හැමදේටම බලපානවා. අවුරුදු ගානක් එක දිගටම වරද්දගෙන ගිහින් එක පාරටම නිවැරදි කරන්න අමාරුයි. පසුගිය කාලේ කිසි දෙයක් ඉලක්කයට නෙවේ ගියේ. අපි ඒ සියළු දුර්වලතා හදනවා. ඒක කරන්න පුළුවන් ඒ සඳහා මේ සියළු දෙනාගේ උදව් අවශ්‍යයි. සේවක පුරප්පාඩු ගත්තාම ලොකු අර්බුදයක් තියෙනවා. පසුගිය රජයන් රාජ්‍ය සේවයට ගත්තේ නෑ. නමුත් දේශපාලන උදව් ගත්තු අය පහල ස්ථරයට බඳවා ගත්තා ඉහල නිලතලවල පුරප්පාඩු ඇති වුනා. පර්යේෂණ මට්ටමේ නිලධාරීන් අඩුයි. ඒ බඳවා ගැනීම් අවාට ගියාට කරන්න බෑ. ඒත් අපි ඒවා ක්‍රමාණුකූලව පිළිවෙලට සිදු කරලා මේ වැවිලි ක්ෂේත්‍රය දියුණු තැනකට ගන්නවා යැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාව සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රහාත් චන්ද්‍ර කීර්ති මහතා අතිරේක ලේකම්වරුන් මෙන්ම තේ කර්මාන්තයට සම්බන්ධ සියළු පාර්ශ්ව නියෝජනය කරන පිරිස් ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මේ ආකාරයට තේ කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශව නියෝජනය කරන පිරිස් සමග අමාත්‍යාංශය මැදිහත් වි ගත් ප්‍රථම සාකච්ඡාව මේය වන අතර මේ සඳහා සහභාගි වූ පාර්ශවයන් අමාත්‍යවරයා ඇතුලු අමාත්‍යාංශ නියෝජිතයන්ට ඔවුන්ගේ සතුට පල කරනුලැබිය. මේ සඳහා එක්වු තේ කර්මාන්තයට සම්බන්ධ ප්‍රාර්ශවයන් පහත සඳහන් වේ.

  • ශ්‍රී ලංකා තේ අපනයන කරුවන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා කුඩා වතු සංවර්ධන සමිති සංවිධානය
  • ලංකා තේ අලේවිකරුවන්ගේ සංගමය
  • කොළඹ තැරැව්කරුවන්ගේ සංගමය
  • සිලෝන් ආටිසනල් ටී සංගමය
  • ලංකා වැවිලිකරුවන්ගේ සංගමය
  • කුඩා හා මධ්‍ය පරිමාණ තේ අපනයන කරුවන්ගේ සංගමය
  • ගාල්ල කලුතර වතු හිමියන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා තේ දළු වෙළෙන්දන්ගේ සංගමය
  • දකුණු වැවිලි කර්මාන්ත සංවර්ධන සමුපකාර සමිති
  • පහත රට වැවිලි කර්මාන්ත සංවර්ධන සමුපකාර සමිති

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න