2020 සිට 2024 දක්වා කාලය තුළ දුම්රියේ ගැටීම නිසා වන අලි 53 ක් මියගොස් ඇති බවත් 17 ක් තුවාල ලබා ඇති බවත් කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ය.
මෙහි දී කමිටුව පෙන්වා දුන්නේ වන අලි අනතුරු අවම කර ගැනීම සඳහා 2018 ඔක්තෝම්බර් මස 11 දින සිට 15 දින දක්වා සමීක්ෂණයක් සිදු කර වන අලි දුම්රියේ ගැටීමේ ස්ථාන හා වන අලි දුම්රිය මාර්ගයේ ගැවසෙන ස්ථාන පිළිබඳ අධ්‍යයනයක් සිදු කර තිබුණත් වන අලි දුම්රියේ ගැටීම අවම වී නැති බවයි.
මෙහි දී නිලධාරීන් පෙන්වා දුන්නේ 2018 පැවති තත්ත්වය මේ වන විට වෙනස් වී ඇති බවත් මෑත කාලීනව අලි 200 පමණ දිනපතා දුම්රිය මාර්ග අවට ගැවසෙන බවත් හඳුනා ගෙන ගෙන තිබේ.
මේ නිසා දැනටමත් කෙටි කාලීන විසඳුම් ලබා දී ඇති බවත් මේ වන විට වන ජීවී දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් දීර්ඝ කාලීන විසදුම් ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කෝපා කමිටුවේ දී නිලධාරීහු පෙන්වා දුන්හ.
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් සහ වත්කම් පිළිබඳ දත්ත ඇතුළත් තොරතුරු පද්ධතිය සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය.
මෙහි දී විගණකාධිපති දෙපාර්තමේතුවේ නිලධාරීන් පෙන්වා දුන්නේ තොරතුරු පද්ධතිය සකස් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් 2024 අගෝස්තු 5 දින වන විට කාරක සභාව වෙත ලබා දෙන ලෙස නිර්දේශ කර තිබුණු බවයි.
නමුත් එය තවමත් ලැබී නැති බවත් එම නිලධාරීහු පෙන්වා දුන්හ. මෙහි දී දුම්රිය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මාස 3ක් ඇතුළත මෙම වාර්තාව සකස් කර ලබා දීමට කටයුතු කරන බවයි.
එසේම පවත්වා ඇති විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් ප්‍රමාණවත් නොවීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය. මෙහි දී අනාවරණය වූයේ වසරකට විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් 4ක් පැවැත්විය යුතු වුවත් 2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා එසේ පවත්වා නැති බවයි.
මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ 2025 වර්ෂය සඳහා මේ වන විට එක් රැස්වීමක් පවත්වා ඇති බවත් මේ වසරේ අවශ්‍ය රැස්වීම 4ම පැවැත්වීමට කටයුතු කරන බවත් ය.
2022 සිට 2024 දක්වා විගණන විමසුම් 27 කට පිළිතුරු ලබා නොදීම පිළිබඳවද මෙහි දී අනාවරණය විය. පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වෙනුවෙන් අවශ්‍ය සේවක සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙය සිදු වී ඇති බවයි.
නමුත් හැකි උපරිමයෙන් මේ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව මෙහි දී නිලධාරීහු පෙන්වා දුන්හ.
මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, සුගත් තිලකරත්න, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන චන්දන සූරියආරච්චි, ඔෂානි උමංගා, දිනිඳු සමන් හෙන්නායක, ටී.කේ. ජයසුන්දර, රුවන්තිලක ජයකොඩි, නීතීඥ තුෂාරි ජයසිංහ, අජන්ත ගම්මැද්දෙගේ, සුසන්ත කමාර නවරත්න සහ ලාල් ප්‍රේමනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටිය හ.